Monday, March 4, 2013

ගෝඨාභය රාජපක්ෂ ගැන කතා බැහැ?


 gotabaya-rajapaksha-4313ThaIndependent -  2013 මාර්තු 02 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ   Patterns Of Censorship: Gotabaya Rajapakse Off Limits?   ලිපියේ සිංහල පරිවර්තනය 
‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්

වාරණයේ රටා : ගෝඨාභය රාජපක්ෂ ගැන කතා බැහැ?

මහාචාර්ය එස්. රත්නජීවන් එච්. හූල්

‘සන්ඬේ ලීඩර්’ පුවත්පතට නිතිපතා ලියන තීරු රචකයෙකු වශයෙන්, එම පුවත්පතේ කතුවරිය ගෝඨාභය රාජපක්ෂ ගැන දක්වන ඉමහත් බිය මම දැක්කෙමි. ඔහු ගැන මොනම විවේචනාත්මක අදහසක් වුව, එය අපහාස නඩුවකට නිමිති නොවන්නක් වුව, ඇය කපා දමයි. එවැනි කපා හැරීම් නොවන්නට විවේචනාත්මක ලිපි විය හැකිව ඇති එම ලියවිලි, ලේඛකයාගේ නිදහස් අදහස්වල ප‍්‍රකාශනයක් බවට සාමාන්‍ය පාඨකයා තුළ හැඟීමක් ඇති කරවයි. එහෙත් ඇත්ත තත්ත්වය කොහෙත්ම එය නොවේ. අපේ පුවත්පත් කතුවරුන්/කතුවරියන් අනුගමනය කරන මේ ස්වයං-වාරණය, මීට කලකට ඉහත අප අත්දැක ඇති නිර්ලජ්ජී වාරණයට වඩා නරක ය.
එදා පත්තරයක, වාරණයට ලක්වන කොටස, කළු පාට හිස් අවකාශයක් වශයෙන් ඉතිරි කර තැබුණි. නැත්නම්, සුදු හිස් අවකාශයක, ‘වාරණයට ලක්වුණි’ යැයි මුද්‍රණය වුණි. එවිට, එම ලිපියේ කොටසක් වාරණය වී ඇති බව පාඨකයා දැනගන්නේය. දැන් මේ ස්වයං-වාරණය තුළ එවැනි සංඥාවක් නැති නිසා, මාධ්‍ය නිදහසක් ඇතැ යි පාඨකයා තුළ වැරදි හැඟීමක් ඇති කෙරෙන්නේය.
වෙනත් පුවත්පත්වලත් මේ ආකාරයෙන්ම ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ විවේචන නොඉවසන ගතියක් ඇති බවක් දැන් මට දැනගන්නට ලැබේ. එය පැහැදිලි කිරීම සඳහා, 2013 මාර්තු 02 වැනි සෙනසුරාදා දා ‘දි අයිලන්ඞ්‘ පුවත්පතේ ‘සොච්චමෙකුගේ සටහන් පොත’ මැයෙන් ශානී ලියූ තීරු ලිපිය පහත පළකරමි. පුවත්පතේ කතුවරයා විසින් කපා දමා ඇති ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ කොටස යටින් ඉරි ඇඳ තද කළු අකුරින් සටහන් කොට තිබේ.


මානව හිමිකම් පිළිබඳ කාරණා පසෙකට දැමිය යුතු නැත:
ඒවා අප සියල්ලන්ටම බලපාන්නේය

සොච්චමෙකුගේ දිනපොත
ශානී විසිනි

කිසිවෙකු තමන්ගේම වන
කොදෙව්වක් නොවේ.
හැමකෙක්ම
මහද්වීපයක කොටසක්,
සමස්තයේ කොටසක්...
හැම මිනිසෙකුගේම මරණය
මාව හීන කරයි,
සමස්ත මනුෂ්‍යත්වයට මා
ගැටගැසී ඇති නිසා.
එනිසා,
සීනුව හැඩවෙන්නේ කා සඳහා දැ යි
නොබලන්න.
එය හැඩවෙන්නේ නුඹටයි.
ජෝන් ඩෝන් (1572-1631)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්වන හැම වතාවකමත්, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයන් ගැන යම් ප‍්‍රකාශයක් නිකුත් කරන හැම වතාවකමත්, ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව ප‍්‍රහාරක පන්නයකට මාරු වෙයි. මේ ප‍්‍රතිචාරය වනාහී, ‘හොඳම ආරක්ෂාව වන්නේ පහර දීම ය’ යන රීතියට අනුගත වීමකි. මානව හිමිකම් ආරක්ෂකයන් වෙත එල්ල කෙරෙන පුද්ගල බැණවැදීම්වලට සීමා වෙනවා මිස, මතු කරන ලද මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ සිතා බැලීමකට කිසි ප‍්‍රයත්නයක් නොගැනේ. මේ හැසිරීමට ආවඩන්නන් සහ පන්දම්කාරයන් කරන්නේ ද, එක්සත් ජාතීන්ගේ සංවිධානයට, ජාත්‍යන්තර ප‍්‍රජාවට සහ දේශීය මානව හිමිකම් ආරක්ෂකයන්ට එරෙහි වියරුවෙන් දෙසාබෑම ය.

මේ කිසිවෙකු, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිෂන් කාර්යාලය හෝ වෙනත් මානව හිමිකම් සංවිධාන මගින් නිකුත් කරනු ලබන වාර්තා කියවන්නට තරම් සැලකිල්ලක් දක්වන බවක් නොපෙනේ. එබැවින්, එම වාර්තා පිළිබඳ ඔවුන්ගේ විවේචන දැනුවත් ඒවා නොවෙනවා සේම, පවතින ගැටළු නිරාකරණය කරගන්නවා වෙනුවට ඔවුන්ගේ මේ හැසිරීම අළුත් ගැටළු ඇති කිරීමට තුඩුදෙන බවක් පෙනේ. සාමාන්‍යයෙන් මහින්ද සමරසිංහ එවැනි ඔල්මාද ප‍්‍රතිචාර දක්වන්නෙකු නොවේ. දැනට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසි වාරය තුළ ඔහු කළ ඉදිරිපත් කිරීම ඔහුට තරම් නොවන බවක් පෙනී යන්නේ එබැවිනි.

මානව හිමිකම් යනු මේ රටේ සියලූ පුරවැසියන්ගේ සැලකිල්ලට ලක්විය යුතු ගැටළුවකි. අපේ රට සංවර්ධනය වීමට නම් සහ අපේ ජනතාව දැනුවත් පුරවැසියන් වීමට නම්, සිදුවී යැයි කියන සියළු මානව හිමිකම් උල්ලංඝනයන් ස්වාධීනව සහ අපක්ෂපාතීව විභාග කළ යුතුය. ආණ්ඩුවෙන්ම පත්කළ ‘උගත් පාඩම් සහ සංහිඳියා’ කොමිසමේ නිර්දේශය වුණේ ද එයයි. එම නිර්දේශය මත පදනම්ව ආණ්ඩුව ‘ජාතික කාර්ය සැලැස්මක්’ සකස් කෙළේය. ඇතැම් නිර්දේශ ගැන මේ සැලැස්ම තුළ කිසිවක් සඳහන් නොවෙතත්, ක‍්‍රියාත්මක කිරීමට පොරොන්දු වූ නිර්දේශ සම්බන්ධයෙන් පවා ආණ්ඩුව පැත්තෙන් ගෙන ඇත්තේ අවම උත්සාහයකි. එම කොමිසම, නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීමේ අවශ්‍යතාව තදින්ම අවධාරණය කෙළේය. ඒ ගැන එහි මෙසේ සඳහන් වෙයි: ‘‘ජාතීන් අතර අර්ථවත් සංහිඳියාවක් ඇති වීමට නම්, සාමය සහ ස්ථාවරත්වය සඳහා නැතිවම බැරි, ස්වාධීන අධිකරණයක් සහ නීතියේ ආධිපත්‍යයට තදින්ම යටත් පාරදෘෂ්‍ය නෛතික ක‍්‍රියාවලියක් අවශ්‍ය කරන්නේය.’’ එහෙත් ඊට ප‍්‍රතිපක්ෂව අපට දක්නට ලැබෙන්නේ, එක දිගටම දෙපැත්තෙන්ම උල්ලංඝනය කෙරෙන නෛතික ක‍්‍රියාවලියකි. මේ ගැන අළුත් හෙළිදරව් වීම් ද කරලියට පැමිණෙමින් තිබේ. ඒවා නොසලකා සිටීමට ආණ්ඩුවට පුලූවන් කමක් නැත. ආණ්ඩුවක් එසේ කළ යුත්තේ ද නැත.

මාතලේ සමූහ මිනී වළවල්

මෑතක දී මාතලෙන් සොයාගත් මිනිස් ඇටසැකිලි සහිත සමූහ මිනීවළවල් සැලකිල්ලට ගන්න. විද්‍යාඥයන් සහ වෝහාර විද්‍යාඥයන් කළ මූලික පරීක්ෂණවලින් අනතුරුව, මේවා දකුණේ දෙවැනි කැරැල්ලට සම්බන්ධ ‘අපරාධ අඩවියක්’ බවට යෝජනා වී තිබේ. එහෙත් මෙය විභාග කළ යුතුව තිබේ. මේ සොයාගැනීම යට ගැසීමටත්, ඊට අදාළ පරීක්ෂණ නතර කිරීමටත් යම් උත්සාහයක් මෑතක දී ගැනුණි. විශේෂයෙන්, මෙහි දී යුද අපරාධ සිදුව ඇති බවට සැක කෙරෙන නිසාම, එවැනි උත්සාහයන් මැඩපවත්වමින්, ස්වාධීන පරීක්ෂණ පැවැත්විය යුතුව තිබේ.

හමු වී ඇති ඇටසැකිලි දකුණේ දෙවැනි කැරැල්ලට සම්බන්ධ බවට වන මූලික පරීක්ෂණයේ නිගමන නිවැරදි යැයි පෙන්නුම් කෙරේ නම්, මේ පරීක්ෂණ දිගටම පවත්වාගෙන යෑම වඩාත් වැදගත් වන්නේය. සැකකාර කැරලිකරුවන්ට සහ අපරාධකරුවන්ට පවා නෛතික හිමිකම්වලට අයිතිය තිබේ. මොන තත්ත්වයක් යටතේවත් අනීතික ඝාතන පිළිගත නොහැක්කේය. මෙය, 1946 සිදුවූ භූමිකම්පාවක් තුළ වැළලී ගිය සිරුරු විය හැකි බවට එක් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකයෙකු යෝජනා කොට තිබේ. එහෙත් මේ කියන කාලයේ අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ එවැනි කිසිවක් වාර්තා වී නැත. කෙසේ වෙතත්, සෑම සැකයක්ම දුරු කර ගැනීම සඳහා, ස්වාධීන මණ්ඩලයක් මගින් අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්වීම අත්‍යාවශ්‍ය කෙරේ.

(පුවත්පතේ කතුවරයා අතින් වාරණයට ලක්ව ඇති ඡේදය)

උතුරේ කැරැල්ල කුඩුපට්ටම් කිරීම සඳහා සැපයූ ගෝඨාභය රාජපක්ෂගේ දායකත්වය ප‍්‍රශස්තියට නගමින්, ගිය වසරේ, දේශපාලන ලේඛක සී. ඒ. චන්ද්‍රපේ‍්‍රම, ‘ගෝඨාගේ යුද්ධය’ මැයෙන් පොතක් ලීවේය. ඒ හමුදා ජයග‍්‍රහණයේ ප‍්‍රධාන නිර්මාපකයා, එවක හමුදාපති සරත් පොන්සේකා බවට වන හැඟීම ඒ මගින් ව්‍යංගයෙන් අහක දැමුණි.
එහෙත් මේ පොත ලියැවුණේ සහ ප‍්‍රකාශයට පත්වුණේ, මාතලේ සමූහ මිනීවළවල් සොයා ගැනීමට මත්තෙනි. ‘ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල’ මැයෙන් එහි එන විසිඅට වැනි පරිච්ඡේදයේ දී, කතුවරයා නොසිතන ආකාරයේ දිසාවකට යොමු විය හැකි අනපේක්ෂිත හෙලිදරව්වක් ඔහු අතින් කෙරී ඇත. 173 වැනි පිටුවේ ඔහු මෙසේ ලියයි:

‘‘1989 මැයි 1 වැනි දා, කර්නල් විමලරත්නව බි‍්‍රගේඩියර් තනතුරට උසස් කිරීමත් සමග ගෝඨාව ගජබා රෙජිමේන්තුවේ පළමු බලඇණියේ අණදෙන නිලධාරී තනතුරට පත්කරන ලදි. මේ උසස් වීමත් සමග, ඔහුව දිස්ත‍්‍රික් සම්බන්ධීකාරක නිලධාරියා වශයෙන් මාතලේට අනුයුක්ත කෙරුණේ ජනතා විමුක්ති පෙරමුණ පාලනය කිරීමේ රාජකාරිය භාරව ය. අවුරුදු එකහමාරකට ආසන්න කාලයක් ත‍්‍රිකුණාමලයේ සිටි ගජබා රෙජිමේන්තුවේ ප‍්‍රථම බලඇණිය මාතලේට ගෙන එන ලදි. ෂවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස් සහ සුමේධ පෙරේරා වැනි ලූතිනන්වරු ඔහුගේ යටතේ මාතලේ සිටි ප‍්‍රධානීන් ය.... (පිටුව 177) ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල අවසන් වන තෙක් මාතලේ ආරක්ෂක සම්බන්ධීකරණ නිලධාරියා වුණේ ගෝඨා ය. 1990 ජනවාරි මාසයේ මාස තුනකට නිවාඩු ඉල්ලා සිටි ඔහු පවුල බැලීමට ඇමරිකාවට ගියේය.’’

මේ කරුණු සළකා බලන විට, රාජපක්ෂ හෝ වෙනත් ඕනෑම කෙනෙකු 1989 යුද අපරාධවලට සම්බන්ධයක් නැති අයවළුන් වශයෙන් හඳුනා ගැනීම සඳහා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම කොහොමත් වැදගත් වන්නේය. අද යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන පුද්ගලයන්ම එදා මාතලේ භාරව සිටීම උත්ප‍්‍රාසාත්මක ය. ඔවුන් අහිංසක බව ස්වාධීන පරීක්ෂණයකින් මගින් හෙළිදරව් විය හැකිය. එහෙත් එය පෙන්නුම් කිරීම සඳහා මොවුන්ට සම්බන්ධයක් නැති පිරිසක් විසින් කෙරෙන පරීක්ෂණයක් අත්‍යාවශ්‍ය වන්නේය.

ආචාර්ය නවී පිල්ලේ සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය

1994 දී රුවන්ඩාවේ අති ඝෝර හිංසනයක් දියත් වූ බව පාඨකයාට මතක ඇති. එරටේ බහුතර ජනතාව වන හුටු ජාතිකයන් රජයේ ආරක්ෂක අංශවල සහයෝගය ඇතිව එහි විසූ සුළුතර ජාතිය වූ ටුට්සි ජාතියට එරෙහිව හිංසනය දියත් කොට ඔවුන්ව සංහාරයට ලක්කළ බවට චෝදනා එල්ල විය. මේ ආශ‍්‍රයෙන් ඇති වී යැයි කියූ බරපතල ක‍්‍රියා විභාග කිරීම සඳහා ඊළඟ වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාවක් රුවන්ඩාවේ පිහිටුවන ලදි. මේ විනිශ්චය සභාවට ලෝකයේ විවිධ රටවලින් විනිශ්චයකරුවන් දොළොස් දෙනෙකු පත්කෙරුනු අතර එයින් එක් අයෙකු වූයේ එක්සත් ජාතීන්ගේ වර්තමාන මානව හිමිකම් කොමසාරිස් ආචාර්ය නවී පිල්ලේ ය. ඒ වන විට ඇය, දකුණු අප‍්‍රිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ මහත් ගෞරවයට පාත‍්‍ර විනිසුරුවරියකි. වැදගත්ම කාරණය වන්නේ, මේ විනිශ්චය සභාව සඳහා පත්කරගත් විනිසුරුවරුන් දොළොස් දෙනාගෙන්, එදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් පහළොවෙන්ම ඒකමතිකව පත් වූ එකම විනිසුරුවරිය ඇය වීම යි.

ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව සම්බන්ධයෙන් ඇය අපක්ෂපාතී නොවෙතැ යි කියන විවේචකයන් සැලකිල්ලට ගත යුතු කාරණය වන්නේ, ඇගේ අධිකරණ වෘත්තීය ජීවිතය තුළ කිසි විටෙක පක්ෂපාතීත්වයක් පිළිබඳව ඇය චෝදනාවට ලක්ව නැති බවයි. 1994 දී දකුණු අප‍්‍රිකානු ශ්‍රේෂ්ඨාධිකරණයට පත් ප‍්‍රථම කාන්තාව වීමේ සිට 1996 දී රුවන්ඩාවේ ජාත්‍යන්තර විනිශ්චය සභාවටත්, අනතුරුව 2003 දී හේග් නුවර අළුතින් පිහිටුවන ලද ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවරියක ලෙසත් ඇයව පත්කෙරුණි. යුක්තිය සහ නීතියේ ආධිපත්‍ය කෙරෙහි කවදත් ඇය වෙතින් ප‍්‍රකාශයට පත්වුණේ නොසැලෙන කැපවීමකි. 1988 දී හාර්වර්ඞ් සරසවියට ඇය ඉදිරිපත් කළ ‘දකුණු අප‍්‍රිකානු අධිකරණයේ දේශපාලනික භූමිකාව’ නැමැති ආචාර්ය උපාධි නිබන්ධනය තුළ, අසාධාරණ සහ සදාචාර විරෝධී නීති ක‍්‍රියාත්මක වන තාක් කල් විනිසුරුවරුන්ට ස්වකීය සැබෑ අධිකරණමය කාර්යභාරය ඉටු කිරීමට නොහැකි වන බව ඇය පෙන්වා දුන්නාය.

රුවන්ඩාවේ සංහාරය පිළිබඳ පහළොස්වැනි සැමරුමේ දී ඇය එම සිද්ධිය විභාග කිරීම සම්බන්ධයෙන් තමන් ඉටු කළ වැඩ කොටස ගැන මෙසේ කතා කළාය:

‘‘සිදු වූ අති බිහිසුණු සිදුවීම් ගැන සාක්ෂි දීමට ඉදිරියට පැමිණි අයට ප‍්‍රණාමය දැක්වීමටත් මම මේක අවස්ථාවක් කරගන්නවා. මානව හිමිකම් උල්ලංඝණය වීම් ගැන නිශ්ශබ්දව ඉන්න එක සහ ඒවා ව්‍යංගයෙන් ඉවසං ඉන්න එක මේ මිනිස්සු ප‍්‍රතික්ෂේප කළා. ජාතීන් අතර සංවාදය ගොඩනගාගන්නත්, සාමකාමී සහජීවනයේ මූලික අඩිතාලම් පිළිසකර කරලා ඒවා නැවත ස්ථාපනය කරගන්නත් උදව් වුණේ ඔවුන් දුන් ඒ සාක්ෂි. මොකද කියනවා නං, සංහිඳියාවක් පෝෂණය කෙරෙන්නේ, සත්‍යය ස්ථාපිත කරගැනීමෙන් නිසා. තමන් මුහුණදුන් රුදුරු අත්දැකීම් සහ කම්පාව ගැන කීමෙන්, පළිගැනීමේ නිසරු මාවතට ඔවුන් බැස්සේ නැහැ. ඔවුන් කළේ, යුක්තියේ මාවත තෝරාගෙන, ජාතීන් අතර නැවත ගොඩනැංවිය යුතු පාර එලිපෙහෙලි කිරීමයි. ඔවුන්ගේ ඒ උත්සාහයට රුකුලක් ඔවුන් ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් බලාපොරොත්තු වුණා. මිනිස් චර්යාවේ ප‍්‍රමිතියක් විදිහට නීතියේ ආධිපත්‍යයට ජීවය පිඹින්න දිරිය දුන්න වීරයෝ වුණේ ඔවුන්.’’

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වර්තමාන සැසිවාරයේ ආරම්භක දේශනය පවත්වමින්, මානව හිමිකම් ආරක්ෂකයන්ට ඒ අයුරින්ම ඈ සිය ප‍්‍රණාමය පිදුවාය: ‘‘දැනට අවුරුදු 20 කට කලින් තිබුණාට වඩා, ක‍්‍රියාන්විත ජාතික මානව හිමිකම් සංවිධාන වඩ වඩාත් බිහිවීමෙන්, අද වෙනකොට සිවිල් සමාජය පුළුල් වෙලා තියෙනවා, ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. අපේ කාලයේ වීරයෝ වෙන්නේ අන්න ඒ මානව හිමිකම් ආරක්ෂකයෝ. එහෙම තියෙද්දී, සිවිල් සමාජ සංවිධාන, මානව හිමිකම් සංවිධාන සහ මාධ්‍ය මර්දනය කරන්නට හා නොතකා හරින්නට මේ තරම් රාජ්‍යයන් ඉස්සරහට එන එක බරපතල කාරණයක්. මානව අයිතිවාසිකම් තුළට ජීව රුධිරය එන්නත් කරන්නේ, මේ සංවිධාන සහ පුද්ගලයන්. සමාජ පරිවර්තනයේ අනුග‍්‍රාහකයෝ වෙන්නේ ඔවුන්. බලය අපහරණය කිරීම් ගැන, දුර්වල අණපනත් ගැන, ටිකෙන් ටික හිස ඔසවන ඒකාධිපතිවාදයන් ගැන අනතුරු සීනු හඩවන්නේ ඔවුන්. ඒත් එක දිගටම මට අහන්න ලැබෙන්නේ, අනුන්ගේ අයිතිවාසිකම් ගැන වැඩ කරන ඒ වගේ නිර්භීත අයට තර්ජනය කරන, අඩන්තේට්ටම් කරන සහ ඔවුන්ව හිරභාරයට ගන්න සහ ඝාතනය කෙරෙන කතා. ඒ වගේ බිය ගැන්වීම්, සමහරවිට මේ රැස්වීම් පැවැත්වෙන අතරේ පවා සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේ බලපෑම් කිසි දවසක අපි ඉවසිය යුතු නැහැ.’’

සෑම ක‍්‍රියාකාරී මානව හිමිකම් ආරක්ෂකයෙකු තුළම තිබිය යුත්තේ එම දැක්ම සහ කැපවීමයි. එය, සෑම රටකම මානව හිමිකම් කොමසාරිස්වරුන් සතු විය යුතු වැදගත්ම පන්නරයයි. මේ අනම්‍ය කැපවීම සහ දැක්ම ඇගේ පුරෝගාමීන්ට සේම නවි පිල්ලේට ද තිබීම එක්සත් ජාතීන්ගේ වාසනාවකි. රුවන්ඩාව, කොසෝවෝ, සර්බියා සහ කාම්බෝජය වැනි රටවල රුදුරු භීෂණයේ ක‍්‍රියාකාරීකයන්ට සහ වින්දිතයන්ට යුක්තිය ගෙනාවේ එම දැක්ම මගිනි. නීති විරෝධී සන්නද්ධ කණ්ඩායම්වලට විරුද්ධව නොව, අසරණ ජනතාවට විරුද්ධව රාජ්‍ය හිංසනය යොදාගන්නා අපරාධකරුවන්ට එරෙහිව ඇති වඩාත් සවිමත් තනි අවිය එයයි.

අර්ථවත් පරීක්ෂණ සඳහා පවතින අවශ්‍යතාව

ගිය වසරේ සම්මත කරගත් යෝජනාවත්, මේ වසරේ පැමිණීමට නියමිත යෝජනාවත්, ලංකා ආණ්ඩුවට සිය මානව හිමිකම් වාර්තාව එකලස් කර ගැනීම අරභයා වන අර්ථවත් පියවර ගැනීම සඳහා සැපයෙන අවස්ථාවන් බව අවධාරණය කළ යුතුව තිබේ. ඒවා රටක් වශයෙන් ශ‍්‍රී ලංකාවට එරෙහිව ගන්නා පියවරයන් නොවේ. ඇත්ත වශයෙන්ම සිදුවන්නේ එහි ප‍්‍රතිපක්ෂය යි. එනම්, එම යෝජනා තුළත්, ‘උගත් පාඩම් හා සංහිඳියා’ කොමිසමේ වාර්තාව තුළත් අඩංගු නිර්දේශ අනුව ක‍්‍රියා කරන්නේ නම් එය ලංකාවට අභිවෘද්ධියක්ම වන්නේය.

මානවවාදී නීති උල්ලංඝනය කළ බවට දැක්වෙන ඝාතන පදනම් කරගත් චිත‍්‍රපටියක් ගිය වසරේ ආවේය. මේ වසරේ තවත් චිත‍්‍රපටියක් ප‍්‍රදර්ශනය කෙරේ. එල්.ටී.ටී.ඊ. නායක ප‍්‍රභාකරන්ගේ පුතා යැයි කියන කුඩා පිරිමි දරුවෙකු, නීතියට පිටතින් ඝාතනය කිරීමට පෙර සහ පසුව ගත් ඡුායාරූප එහි දැක්වේ. ගිය වසරේ දී මෙන්ම මේ වසරේ දී ද, එම චිත‍්‍රපටයේ සත්‍යතාව ආණ්ඩුව ප‍්‍රශ්න කරයි. මේ මතභේදාත්මක කාරණය සැලකිල්ලට ගනිමින් ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ මෙසේ නිර්දේශ කෙළේය: ‘‘මේ චෝදනාවල ඇත්ත නැත්ත සනාථ කර ගැනීම සඳහාත්, රටේ පවතින නීතිය ප‍්‍රකාරව පියවර ගැනීම සඳහාත්, ශ‍්‍රී ලංකා ආණ්ඩුව ස්වාධීන පරීක්ෂණ ආරම්භ කළ යුත්තේය. එසේම, සැපයෙන තොරතුරු සහ තොරතුරු සපයන්නන්ගේ ආරක්ෂාවත්, රහස්‍ය භාවයත් ආරක්ෂා වන පරිද්දෙන් කටයුතු සම්පාදනය විය යුතු බවත් කොමිසම විශ්වාස කරයි. ඊට අදාළ සියල්ලන්, විශේෂයෙන් මේ රූප රාමු සැපයූ සංවිධාන සහ චිත‍්‍රපටිය විකාශය කළ සංවිධාන, අවශ්‍ය කරන තොරතුරු සැපයීමෙන් පූර්ණ සහාය දිය යුතුව තිබේ.’’ කණගාටුවට මෙන්, මෙම නිර්දේශය අනුව කටයුතු කිරීමට ආණ්ඩුව පියවර ගෙන නැත.

තමන්ට පෙර පත්කරන ලද කොමිෂන් වාර්තා අනුව බලධාරීන් කටයුතු කර නොමැති බව ද, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ පෙන්වා දුන්නේය. ඒ ගැන එහි සඳහන් වන්නේ මෙසේ ය: ‘‘2005 අගෝස්තු මාසයේ සිට සිදුවී යැයි කියන බරපතල මානව හිමිකම් උල්ලංඝණනයන්, විශේෂයෙන්, 2006 ජනවාරි මාසයේ ත‍්‍රිකුණාමලේ ශිෂ්‍යයන් 5 දෙනාගේ මරණ සහ 2006 අගෝස්තු මාසයේ, ‘සාගින්නට එරෙහි ක‍්‍රියාන්විතයේ’ සහනාධාර සේවකයන් 17 දෙනාගේ මරණ ගැන පරීක්ෂා කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා මගින් යෝජිත නිර්දේශ ක‍්‍රියාත්මක කරන ලෙස මෙම කොමිසම තදින්ම නිර්දේශ කරයි. එවැනි පියවරක් මගින්, නීතියේ ආධිපත්‍යය සඳහා වන ගෞරවයේ ඇති වැදගත්කම පිළිබඳ ප‍්‍රබල සංඥාවක් නිකුත් කෙරෙනු ඇත. එයම, ජාතීන් අතර විරසකය සමනය කිරීමට දායක වනු ඇත.’’

ශ‍්‍රී ලංකාව නිවැරදි මාවතට පිවිසෙන්නට නම්, තමන් නීතියේ ආධිපත්‍යය බරසාරව පිළිගන්නා බව, දේශීය සහ විදේශීය මානව හිමිකම් ආරක්ෂකයන්ට පෙන්නුම් කළ යුතුය. අලංකාර ප‍්‍රලාප කතා හැරුණු කොට, එවැන්නක් සඳහා වන අර්ථවත් පියවර කිසිවක් මේ දක්වා ගෙන ඇති බවක් මේ දක්ව . 43 වැනි අගවිනිසුරුවරියට එරෙහිව දියත් කරන ලද අශෝභන දෝෂාභියෝගය සහ ‘උගත් පාඩම් හා සංහිඳියා’ කොමිසමේ බොහෝ නිර්දේශ ප‍්‍රතික්ෂේප කිරීම මගින් ශ‍්‍රී ලංකා ආණ්ඩුව පෙන්නුම් කොට ඇත්තේ, කැමැත්තක් ඇතොත්, තවත් උගෙනීමට බොහෝ පාඩම් ඇති බව යි.

Sunday, March 3, 2013

"සිය දේශය වෙනුවෙන් මිය යාම ප‍්‍රසන්න හා වැදගත් දෙයකි."



1981 වර්ෂයේ කැළණි සරසවි උපාධි ප‍්‍රදානෝත්සවයේදී වල්පොල රාහුල හිමියන් කළ දේශනය



දේශපේ‍්‍රමයේ ජාතිපේ‍්‍රමයේ ආගමේ හා මතවාදයන්ගේ පෙනෙන්නට තිබෙන යහපත් දේ මොනවාද? ඒවා ප‍්‍රශ්න කිරීමකට භාජනය වනු ඇත්තේ කවදාද? අපගේ ජීවිත රැදී පවත්නා සදාකාලික සත්‍යයන් ඒවා බව පෙනේ. එසේ වුවද වරදවා තේරුම් ගත් විට වාර්ගික අරගල, ආගමික ගැටුම්, ප‍්‍රාදේශ්‍රීය හා ජාතිවාදී සටන් හා ජාත්‍යන්තර යුද්ධ ඇති කරන ප‍්‍රධාන මූලයන් බවට ඒවා පත්වේ.

ඔබ හොඳින් නැවත සිතා බැලුවහොත් පුද්ගලයෙකු ලෝකයේ එක් තැනක හො වෙනත් තැනක උත්පත්තිය ලැබිය යුතු බව ඔබට පෙනෙනු ඇත. මිනිසෙකු හෝ ගැහැණියක එසේ ඉපදුණු විට ඒ සමඟ ඔවුන්ට කිසියම් රටක්, ජාතියක්, ආගමක්, දේශපාලන දර්ශනයක් හෝ මතවාදයක්, භාෂාවක්, සමාජ කණ්ඩායමක් හෝ කුලයක් උරුම වේ. අනෙක් ඒවාට වඩා ඒවා හොඳ නිසා ඔවුන් ඒවා තෝරා ගත්තා නොවේ. ඒ සියල්ල අහම්බෙන් ලැබෙන දේය.

එසේ වුවද, පුද්ගලයෙකු සිය ආත්මය පිළිබඳ හැඟීම සිය ආත්මාර්ථකාමී මමත්වය – හේතුකොට ගෙන හුදු අහම්බයක් නිසා තමාට උරුම වූ මේවා පිළිබඳව ඇලෙන අතර ඒවා තමාට ඉතාම සුදුසු යයි හැඟුන නිසා තෝරාගත් බවක් අන්‍යන්ට පෙන්වන්නට කටයුතු කරයි. ඔහු ඒවා සමඟ වෙන් කළ නොහැකි ලෙස සම්බන්ධ වන අතර ඒවා තුළ සිය සතුට, විමුක්තිය හා සරණ සොයයි. ඒවා ඉවත් කළ විට කිසිම වටිනාකමක් නැති හිස් බවක්, අසරණ බවක්, ඔහුට දැනේ. ඒ නිසාම ආරක්ෂා වනු පිණිස, ආවරණය වනු පිණිස, වෙනකක් තබා තමා වැදගත් බව හඟවනු පිණිස, ඒවා උත්කෘෂ්ඨත්වයට නංවන්නට ඉහලට ඔසවා තබන්නට, වන්දනා මාන කිරීමට, ඔහු උනන්දු වෙයි.

කිසියම් කෙනෙකු සභාවක නැගිට "මා ශ්‍රේෂ්ඨයි විශිෂ්ඨයි උතුම්" යයි කියමින් තමන් වර්ණනා කෙරෙයි නම් ඒ පුද්ගලයා නිරනුමානයෙන්ම සභාවේ සාධාරණ උපහාසයට ලක්වනු ඇත. එභෙත් ඔහු තමාගේ ජාතිය, වර්ගය හෝ ආගම උසස් යයි (එයද තමන් උත්කෘෂ්ඨත්වයට පත් කර ගැනීමේ අනියම් මගකි.) කියා සිටින්නේ නම් ජාතිපේ‍්‍රමියෙකු ලෙස හෝ දේශපේ‍්‍රමියෙකු ලෙස හෝ වෙනත් පූජනීය කෙනෙකු ලෙස එම සභාවේ සිටින සිය ජාතියට, ආගමට හෝ වර්ගයට අයත් ජනතාව ගෙන් බුහුමන් ලබනවා ඇත. මෙවැනි දේශකයින්ගේ පටු බව හා ලඝු බව දේශපේ‍්‍රමයේ හෝ ජාතිපේ‍්‍රමයේ සළු පිළියෙන් කදිමට වසා ගත හැක.

ශ‍්‍රී ලංකාවේ නීති ශිෂ්‍යයන් විසින් තවමත් මහත් උනන්දුවෙන් හදාරනු ලබන රෝමානු නීතියේ මෙවැනි කියමනක් වෙයි.

"සිය දේශය වෙනුවෙන් මිය යාම ප‍්‍රසන්න හා වැදගත් දෙයකි." රට වෙනුවෙන් ජීවත් වීම, ඒ වෙනුවෙන් මිය යාමට වඩා වැදගත් බව පෙන්වන්නට සාධක කොතෙකුත් තිබියදීත් මෙවැනි ආකර්ෂණීය හා උද්වේගජනක සටන් පාඨ මිනිසුන් අරගලයට යුද්ධයට මෙභෙයවා ඇත.

කිසියම් පුද්ගලයෙකු තම රට ජාතිය හෝ ආගම නොසළකා අමතක කොට ජීවත්විය යුතු යයි කිසිවෙකු යෝජනා නොකරනු ඇත. දේශපේ‍්‍රමය ජාතිපේ‍්‍රමය හා ඒ සමාන වෙනත් දේ තුළ ඇති නොවැටභෙන දේ නම් ඒවායින් ඇතිවන යහපත හෝ අයහපත වෙන්කර ගන්නට නොහැකි වීමය.

දේශපේ‍්‍රමය යනු රට වෙනුවෙන් පෙනී සිටීමය. ජාතිපේ‍්‍රමය යනු ජාතිය වෙනුවෙන් පෙනී සිටීමය. එහි දොස් පැවරිය යුතු කිසිවක් නැත. ඒ දෙකම යහපත්ය. එභෙත් තම ජාතිය වෙනුවෙන් පෙනී සිටීම, ඉක්මනින්ම අනෙක් ජාතියට එරෙහි වීමට පෙරලෙයි. තමන්ගේ රට ජාතිය වෙනුවෙන් පෙනී සිටීම අනෙකාගේ රට ජාතියට එරෙහි වීම ලෙස තේරුම් නොගත යුතුය. ඇත්තටම නම් තමන්ගේ රට ජාතියට හිතවත් වන ප‍්‍රමාණයට අප අනෙකාගේ රට ජාතිය ගැනද හිතවත් විය යුතුය. අනෙකාගේ රට ජාතියට ගෞරව නොකරන, ආදරය නොකරන, කෙනෙකු තමන්ගේ රට ජාතියට සැබෑ ලෙස ගෞරව කරන්නේද ආදරය කරන්නේ ද නැත.

බෞද්ධ ආචාර ධර්ම තුළින් මේ සම්බන්ධව වැඩිදුර ගුරුහරුකම් ගැනීමට අපට පුළුවන. ලෝක සත්වයාට මෛත‍්‍රීය කිරීම අරඹන්නේ පහසුවෙන් හා මුලින්ම කළ හැකි තමාට මෛත‍්‍රිය පැතිරවීමෙනි. තමාට මෛත‍්‍රිය කිරීම සඳහා අනුන්ට වෛර කිරීම අවශ්‍ය නොවේ. තමාට නිවැරදිව හා බුද්ධිමත්ව මෛත‍්‍රිය කරන කෙනෙකු සියළු ආකාරයේ නරක ක‍්‍රියාවලින් වැළකෙන අතර නිවැරදි මාවතේ ගමන් කරයි. එවිට අපට අප සමඟ හෝ සමාජය සමඟ ගැටුමක් ඇති නොවේ. අප අවට ලෝකය සමඟ සාමයෙන් හා සංහිඳියාවෙන් ජීවත්වීමට එයින් අපි වරම් ලබමු. ඊළඟ පියවර වන්නේ තමන්ට ඉතාම ළඟින් නුදුරින් සිටින අයට මෙත් සිත් පැතිරවීමය. තෙවැනි පියවර වන්නේ තමා සමඟ සබඳකම් පවත්වන අයට මෛත‍්‍රිය කිරීමයි. සිව්වෙනි හා අවසාන පියවර වන්නේ තමන්ගේ සතුරන්ට ද මෛත‍්‍රිය පැතිරවීමය. මෙය දුෂ්කර වුවද මෛත‍්‍රිය වැඩීම තුළ තමන්ගේ අධ්‍යාත්මික වර්ධනය හා අත්දැකීම් ලබන නිසා එය කළ හැකි දෙයක් වෙයි. මෙසේ මෛත‍්‍රිය හුරු කළ විට තමන් හා තමන්ගේ කිට්ටුවන්තයන් අතරද තමන් හා තමන් සබඳකම් පවත්වන්නන් අතරද තමන් හා හතුරන් අතරද වෙනස තුනීව යයි. නැතිව යයි. මෙය ඉන්ද්‍රජාලික සුරංගනා ලෝකයේ සිදුවන අභව්‍ය සිදුවීමක් නොවේ. මෙය මිනිසුන් තුළ ගොඩ නඟා ගත හැකි අපූර්වත්වයකි. දේශපේ‍්‍රමයට හා ජාතිපේ‍්‍රමයට මෙසේ සියළු ජාතීන් හා දේශයන් එක්ව පෙමකින් වෙලන්නට හැකිවේද? සමහර විට මහත්මා ගාන්ධි එසේත් නැත්නම් ශ‍්‍රී ලාංකිකයෙකු වූ ආනන්ද කුමාරස්වාමි වැනි දේශපේ‍්‍රමීහු හා ජාතිපේ‍්‍රමීහු ජාතියට සංස්කෘතියට හා දේශයට ආදරය කරමින් සෙසු ජාතීන්ට සංස්කෘතීන්ට දේශයන්ටද පේ‍්‍රම කළහ.

මේ සඳහා කෙනෙකුට පැහැදිලිව දැකිය හැකි මනසක් තිබිය යුතුය. මේ හැම විටකම කල්පනාකාරී වීමත් මිනිසුන් වර්ග කර ලේබල් ඇලවීමට ඉක්මන් නොවීමත් අවශ්‍යය. වර්ගීකරණය යනු බෙදා නිශ්චිත කණ්ඩායම්වලට වෙන් කිරීමය. එසේ කළ විට අනවරතව ගලා යන සමස්ථ ජීවිතය අපගේ සිත තුළ චිත‍්‍රණය නොවෙයි. වර්ගීකරණය යනු කෑලිවලට වෙන් කර තනි තනිවම ඒවා විමසීමය. ඒ තුළ සමස්ථය දැකිය නොහැකිවේ. වර්ගීකරණය තුල කැබලි වීම නිසා සිදුවන මේ අභාග්‍යය මිනිසා ගැන පමණක් නොව ස්වභාවධර්මය සම්බන්ධයෙන්ද රමණීයත්වය සම්බන්ධයෙන්ද වෙනත් බොහෝ දෑ සම්බන්ධයෙන් ද එකසේ අදාළය.

සියළුම ආගම් පිළිබඳ ප‍්‍රවේසමෙන් කරන ලද අධ්‍යයනයකින් පසු කිසියම් ආගමක් අනෙක් ඒවාට වඩා ශ්‍රේෂ්ඨ යයි තේරුම් ගෙන ඒ ආගම වැළඳගත් අය ලෝකය තුළ සිටී නම් ඒ අල්ප වශයෙනි. එභෙත් බහුතරයක් අපි උපතින් උරුම වූ ආගම තුළම රැදී සිටිමු. මා කිසියම් ආගමක් උපතින් උරුම කර ගත් නිසාම ඒ ආගම පමණක්ම සත්‍ය බවත් අනෙක් ආගම් සියල්ල අල්පේච්ඡ බවත් කීම කොතෙක් දුරට සාධාරණ වන්නේද? මීටත් වඩා පටු වූද බාල වූද සිතිවිල්ලක් තවත් තිබිය හැකිද? මම බෞද්ධයෙක්ව උත්පත්තිය ලැබූ නිසාම බෞද්ධාගම සත්‍ය දෙසන එකම ආගම බවත් අනෙක් ආගම් තුළ ඇත්තේ බොරුව බවත් මට කිව හැකිද? මා ක‍්‍රිස්තියානි කාරයෙක්ව උත්පත්තිය ලැබුවේ නම් ක‍්‍රිස්තියානි එකම සත්‍ය ආගම බවත් සෙසු සියළු ආගම් වැරදි බවත් මා කීම සාධාරණ වන්නේද? තමන්ගේ ආගම පිළිබඳ භක්තියක් ඇතිකර ගැනීම එකකි. එය යහපත් එකක් වන්නටද පුළුවන. එභෙත් මගේ ආගමට ඇති භක්තියෙන් අන්ධවී මා විසින් සෙසු ආගම් ගර්හාවට ලක් නොකල යුතුය.

මේ සම්බන්ධයෙන් කිව යුතු තවද කරුණක් ඇත. අවිචාර බුද්ධියෙන් යුතුව ඡාතික හා ආගමික මතයක එල්බගෙන සිටීම තරමටම දේශපාලනික ආර්ථික හෝ සමාජයීය මතයක් විචාරයෙන් තොරව දැරීමද (එකම ආකාරයේ) වැරදිය. මේ සියළු මතවාදයන් (දිට්ඨි) කෙරෙහි අන්ධව බැදී ඇලී සිටින තැනැත්තේ මෙසේ කියයි. මෙය පමණක් සත්‍යයකි. මෙයින් බාහිර හැම දෙයක්ම බොරුවකි.

එවැනි අන්ධ මතවාදයන් දැරීම පිළිබඳ බුදුන්ගේ වචනය ඉතා පැහැදිලිය. කිසියම් මතවාදයකට ඇලි ගැලී සිටිමත් අනෙකුත් මතවාදයන් පහත් යැයි ගර්හා කිරීමත් පහත් ක‍්‍රියාවන්ය. බුද්ධිමත් මිනිස්සු එවැනි දැ සලකන්නේ විලංගු ලෙසය. (සූත්ත නිපාත – 798 පැදිය) ඒ අර්ථයෙන් ගත් කළ මිනිස් වර්ගයා විලංගු දා බැඳ දමා තිබේ.

මෙයින් අදහස් කරන්නේ අරාජිකත්වය හෝ ව්‍යාකූලත්වය අනුයන බව නොවේ. අපම සාදාගත් පටු දෘෂ්ඨියෙන් මිදී, අපේම සිතින් මවාගත් මන:කල්පිතයන්ට නොබැඳි, නිදහසේ යමක් එහි සැබෑ ස්වරූපයෙන් දකින්නට ඒ උපදෙස් අපට ආරාධනා කරනවා පමණකි. යමක් එහි සැබෑ ස්වරූපයෙන් දැකීමෙන් ව්‍යාකූලත්වයක් හෝ අරාජිකත්වයක් ඇති නොවේ. එයින් පිළිවෙළ ද, විනය ද - සහජීවනය හා සාමය ද – ඇති වේ. අපි යථාර්ථයට මුහුණදීමට ඇති බිය නිසාම අපේ ඇස් වසා ගනිමු. අප කැමති යමක් අපට ඔනෑ අකාරයට දකින්නට මිස, එය තිබෙන සැබෑ ස්වරූපයෙන් දක්නට නොවේ.

ඒ නිසාම වසර ගණනාවක පුහුණුවකින් පසු සරසවිය හැර යන තරුණ ඔබ සියල්ල පරීක්ෂා කළ යුතුය. ඔබේ දැනුම සියල්ල එහි සැබෑ ස්වරූපයෙන් දකින්නට භාවිතා කළ යුතුය. මා කියන දෙය හෝ වෙනත් කිසිවෙකු කියන දෙය හෝ ඔබ පිළිගත යුතු නැත. එය අධිකාරිත්වය දරණ අයගේ හඬ නිසාම ඔබ පිළිගත යුතු වන්නේ නැත. යම් කෙනෙකු තමන්ගේ හැකියාවේ උපරිම මට්ටමෙන් හා තම දැනුමේ උපරිම මට්ටමෙන් යම් කිසිවක් විමසා බලා පිරිසිඳ දකින්නේ නැතිව පිළිගැනීම සම්බන්ධයෙන් කිසිදා සාධාරණ හේතුවක් දිය නොහැකිය.

ඔබේ වෘත්තීය ජීවිතය තරුණ ඔබටද එපමණක් නොව සමාජයේ යහපත පතන ඒ වෙනුවෙන් කැප වී ඇති සියල්ලන්ටම ද ප‍්‍රයෝජනවත් හා තෘප්තිකර එකක් වනු ඇතැයි මේ උපාධි ප‍්‍රදානෝත්සවයට සහභාගි වන

 සියල්ලන් පතන බවට මට උදක්ම විශ්වාසය.
http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=3246


[උපුටාගත්තේ beyondframe බ්ලොග් අඩවියෙන්]