Wednesday, June 29, 2011

ද කිංග්ස් ස්පීච

අධ්‍යක්ෂනය ටොම් හූපර්, රචනය ඩේවිඩ් සීඩ්ලර්

ද කිංග්ස් ස්පීච්

ඓතිහාසික සිදුවීම් පිලිබඳ කතා කරන චිත‍්‍රපටකරුවෙක් නිශ්චිත කර්තව්‍යයන්ට මුහුණ දෙයි. සිය කෘතිය සාර්ථක වීමට වචනයක් පාසා කෙරෙන විස්තරයක් හෝ සිදුවීම් ඒ ආකාරයෙන් කීමක් අවශ්‍ය නො වන මුත් යටතින් දිවෙන ඓතිහාසික සත්‍යය හා විචාරශීලී නියුක්තියක අංශුමාත‍්‍රයක් ඊට තිබිය යුතු ම ය. ද කිංග්ස් ස්පීච් (The King’s Speech), ඒ මත ගොඩගැසී තිබෙන අභිවාදන හා සම්මාන තිබිය දීත්, මේ අංශයෙන් බෙහෙවින් අසාර්ථක ය.

ද කිංග්ස් ස්පීච් නිශ්චිත ශක්තීන් විදහා පායි සියල්ලට ම වඩා එය මැනැවින් රඟනු ලැබ ඇත. තව ද එය අනපේක්ෂිත හා හටගැනීමට ඉඩ අඩු මිතුදමක් ඔස්සේ සිය ගොතගැසීම ජයගනු පිනිස අරගල කරන මිනිසකු පිළිබඳ නිරූපනය වටා සාපේක්ෂ වසයෙන් සංවේදී ව කේන්ද්‍රගත වෙයි. මේ තේමාවෙන් චිත‍්‍රපටියට ලැබී තිබෙන්නේ කෙතරම් නම් උනුසුමක් හා කාන්තියක් ද? ළමා වියේ පටන් තමන්ට තිබූ කථන ආබාධය සමග පොරබදන බර්ටි (ඇල්බර්ට් යන්නෙහි කෙටි යෙදුම), යෝර්ක්හි ආදිපාදවරයා සහ පසු ව එංගලන්තයේ සය වැනි ජෝර්ජ් රජු ලෙස කොලින් ෆර්ත් සිත් කාවදිනසුළු රංගනයක් ඉදිරිපත් කරයි.

එසේ වුව, කතාව රඳා පවත්නේ 1930 ගණන්වල හා වඩා පොදුවේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය සහ එහි භූමිකාව පිළිබඳ අවිවේචනාත්මක වූ ද බොහෝ විට බැතිබර වූ ද දෘෂ්ටියක් මත ය. මේ තේමා දෙක සුවපහසු ලෙස එක ළඟ නොහිදී.

බර්ටි යනු පරුෂ හා හිංසාකාරී පස්වැනි ජෝර්ජ්ගේ (මයිකල් ගැම්බන්) පුතු ය. සිය ගොතගැසීම නිසා ඔහුට ප‍්‍රසිද්ධ කතා පැවැත්වීම දුෂ්කර වෙයි. චිත‍්‍රපටය, ඔහුට සිය ගොතය මගහරවා ගැනීම සඳහා ක‍්‍රමවේද උගන්වන, කථන චිකිත්සකයකු බවට පෙරලුනු අසාර්ථක නලුවකු වූ ලයනල් ලෝග් (ජෙෆ්රි රෂ්) වෙත අකමැත්තෙන් යන ගමන් චිත‍්‍රනය කරයි. සිත් ඇදගන්නා රංගනයක යෙදෙන රෂ්, ලෝග් භූමිකාව රඟ දක්වන්නේ පීඩිතයාට උපකාර කිරීමට සිය උපරි ම වෑයම දරන ශිෂ්ටසම්පන්න හා ත්‍යාගශීලී මිනිසකු ලෙසිනි.

ලෝග් සිටින දර්ශන රාජකීය ගර්වය කෙරෙහි කිසියම් විවේචනාත්මක පහරක් එල්ල කරන මුත් අවඥාව වැඩි දුර ගමන් කරන්නේ නැත. බර්ටි සහ ඔහුගේ බිරිය එලිසබෙත් (හෙලේනා බොන්හැම් කාටර්) සරදමට ලක් වන්නේ ඉතා මඳ වශයෙනි. කථනයෙහි ගුනාංග පිලිබඳ චිත‍්‍රපටියක නලුවන් කෙරේ පැනෙන ආකර්ෂනය ප‍්‍රකට ව පෙනේ. චිත‍්‍රපටියට අතිශය කුශලතා පූර්න නලුනිලි කැලක් සිටින අතර සිත් කාවදිනසුලු කටහඬවලින් එය ගහන ව තිබේ. ගැම්බන්, ඩෙරෙක් ජැකොබි, ක්ලෙයාර් බ්ලූම් සහ අන්‍යයන්ගේ පොහොසත් කටහඬින් වට කිරීම මගින් බර්ටිගේ කථන අපහසුතා අවධාරනය කෙරේ. කෙසේ වතුදු, මෙය වනාහි රාජකීයයන් සහිත මයි ලෙෆ්ට් ෆුට් (My Left Foot) නම් නො වේ.

සිදු වූ පරිදි ම බර්ටිගේ ගොතය ජය ගැනීම අධ්‍යක්ෂනය කෙරුනු දේශපාලන ක‍්‍රියාවක් හැටියට නිරූපනය කොට තිබේ. එහෙත් ගැටලු පවතින්නේ මේ නිරූපනය තුල ය. චිත‍්‍රපටය සිදුවීම් ඉදිරිපත් කරන ආකාරය, යුද්ධය අතරතුර - "බ්‍රිතාන්‍යයේ අනර්ඝතම පැය” ලෙස යුදකාලීන ජාතික එකමුතුව පිලිබඳ නිරූපනයේ කොටසක් හැටියට නිර්මානය කෙරුනු හා එවක පටන් ශ‍්‍රද්ධාපරවශ ව පුනරුච්චාරනය කෙරුනු ප‍්‍රචාරය සමග අවශ්‍යයෙන් ම ගැලපෙයි.

බර්ටිගේ ගොතගැසීම සම්බන්ධයෙන් ගත් කල පවා චිත‍්‍රපටිය ඉදිරිපත් කරන්නේ ඔහුගේ කථා පැවැත්වීමේ ප‍්‍රතිඵල පිලිබඳ දෙවැනි පාර්ශ්වීය හා සාවද්‍ය විස්තරයකි. සත්තකින් ම යුද කාලීන අගමැති වින්ස්්ටන් චර්චිල් ජෝර්ජ්ගේ කථාවල ගොතගැසීම් සංස්කරනය කරන මෙන් බීබීසීයට උපදෙස් දුන්නේ ය.

චිත‍්‍රපටියේ දුර්වලතාවන්ගේ හදවතේ ම පවත්නේ පස්වැනි ජෝර්ජ්ගේ මරනින් පසු හටගත් ව්‍යවස්ථාමය අර්බුදය පිලිබඳ යම් පමනකට නොගැඹුරු හා සැර බාල කෙරුනු විස්තරය යි. ජෝර්ජ්ගේ වැඩිමහලු පුත් ඩේවිඩ් (ගයි පියර්ස් විසින් කෙරුනු අනර්ඝතම නිරූපනයක්) අටවැනි එඩ්වර්ඩ් ලෙස සිංහාසනාරූඪ විය. වරක් දික්කසාද වූ හා දෙවන සැමියා සමග එතෙකුදු විවාහයේ සිටි ඇමෙරිකානු සමාජශීලිනියක වූ වොලිස් සිම්ප්සන් (ඊව් බෙස්ට්) සමග ඔහුට පැවති සබඳතාව සහ කිරුල දරා සිටිය දී ඇයව විවාහ කරගැනීමෙහිලා ප‍්‍රකාශිත අභිලාශය, පිලිගත නොහැක්කක් සේ සලකනු ලැබිනි.

සිම්ප්සන්ගේ දික්කසාදය සහ එක්සත් ජනපද මාධ්‍ය මගින් (බි‍්‍රතාන්‍ය මාධ්‍යයට එවැනි වාර්තාකරනයෙන් වලකන නිල වාරන නියෝගයකින් මුකවාඩම් ලා තිබිනි) යුවලගේ සබඳතාව ප‍්‍රසිද්ධියට පත් කිරීමත් සමග එංගලන්ත සභාවේ ප‍්‍රධානියා ලෙස රාජාන්ඩුවෙහි ගෞරවය සුරක්ෂිත කිරීමේ වියරු සූදානමක් සිදු කෙරිනි. වසරක් තුල ඔහු බර්ටි හට සය වැනි ජෝර්ජ් බවට පත් වීමේ ඉඩ සලසමින් රජකම අත් හලේ ය. නිලය අත්හැරීම පිලිබඳ අර්බුදය පොදුවේ ඉතිහාසයට එක් ව ඇත්තේ මෙපරිදි ය. එහෙත් සිදුවීම්වල මතුපිටට යටින් හිට්ලර්ගේ නාසි පක්ෂය සමග සිම්ප්සන් සහ එඩ්වර්ඩ්ගේ සමීප සබඳතා පිලිබඳ වෙනත් බෙහෙවින් ම දේශපාලනික ව අන්තරායකර වූ උත්සුකයන් පැවතිනි.

සිම්ප්සන්ට ඇය සබඳතාවක් පැවැත්වූ විදේශ ඇමැති ජෝකිම් වොන් රිබන්ට්රොප් (Joachim von Ribbentrop) ඇතුලු ප‍්‍රමුඛ නාසීන් සමග බොහෝ සමීප බැඳීම් විය. ධුරය අත්හැරීමෙන් මඳ කලකට පසු යුවල හිට්ලර්ගේ අමුත්තන් වශයෙන් බැවේරියාවෙහි ගත කලහ. නාසි ආක‍්‍රමනයකින් පසු කිරුලට යලි පත් වනු පිනිස යුවලට වූ අභිලාෂය ඉන් පසු පුවත්පත් මගින් අනාවරනය කරනු ලැබී ය.

ෆැසිස්ට්වාදයට ලැබුනු විවෘත රාජකීය සහාය දේශපාලනික ව දුෂ්කර විය. අගමැති ස්ටැන්ලි බෝල්ඩ්වින් ඉල්ලා අස් විය. එක්සත් ජනපද ජනාධිපති රූස්වෙල්ට් ද එඩ්වඩ්ගේ ෆැසිස්ට් සහානුභූතීන් පිලිබඳ බලවත් සැලකිල්ලක් දැක්වී ය. බර්ක්ස් පියරේජ්හි (Burke’s Peerage)හි ප‍්‍රකාශන අධ්‍යක්ෂ හැරල්ඩ් බ්රූක්ස් බේකර්ගේ වචනවලින් කියතොත් ඇය "ඔහුට නාසි හිතවාදී රජකු හා ගනුදෙනු කිරීමට සිදු වීමෙන් වැලකූ හෙයින්” රූස්වෙල්ට් සිම්ප්සන් සැලකුවේ සිදු විය හැකි ව තිබූ "හොඳ ම දෙය” හැටියට ය.

එඩ්වඩ්ට ඇය විවාහ කරගැනීමට බි‍්‍රතාන්‍ය ආන්ඩුව අවසර නොදුන්නේ ඇගේ නාසි සහානුභූතීන් නිසා බවත් ඔවුන් රාජ්‍ය රහස් නාසීන්ට ලබා දෙන්නේ දැයි රාජකීය යුවල පිලිබඳ ඔත්තු බලනු පිනිස එෆ්.බී.අයි සංවිධානය ඒජන්තයන් පවා යැවූ බවත් සඳහන් කරන 1940 ගනන්වල සම්පාදිත එෆ්.බී.අයි ලිපිගොනු 2003 දී ප‍්‍රසිද්ධියට පත් කෙරිනි.

චිත‍්‍රපටිය, එය කල යුතු පරිද්දෙන් ම ඔවුන්ගේ සහානුභූතීන් පිලිගනියි. යුරෝපයෙහි විප්ලවවාදී ව්‍යාපාරයක් ගැන අනතුරු ඇඟවූ කල්හි ‘හර් හිට්ලර් ඔවුන් ගැන බලාගනීවි’ යි එඩ්වඩ් අවධාරනය කරයි. මෙය "කොමියුනිස්ට්වාදය සදහට ම කුඩුපට්ටම් කරදැමීමට ජර්මනිය දිරිගැන්වීම වනාහි බි‍්‍රතාන්‍යයේත් යුරෝපයේත් යහපත පිනිස වන්නේ ය” යි ප‍්‍රකාශ කරමින් ඔහු නිව්යෝර්ක් ඩේලි නිවුස් පුවත්පතට ලියූ ලිපිය ප‍්‍රතිරාව නංවයි.

එසේ වුවත් මීට විසංසන්දනාත්මක ව, ද කිංග්ස් ස්පීච් බර්ටි හා එලිසබෙත් ඇතුලු පවුලේ සෙසු පිරිස පිලිබඳ සැර බාල කෙරුනු නිරූපනය ප‍්‍රතිරාව නංවයි. අර්බුදය ජයගැනීම නිරූපනය කොට ඇත්තේ ජර්මනිය තුල ෆැසිස්ට්වාදයේ වැඩීමට එරෙහි මහජන විරෝධයේ මුදුනෙහි යහපත් හා පුද්ගලික ව ධෛර්යසම්පන්න රජකුගේ නායකත්වය යටතේ රාජාන්ඩුව රඳවමිනි.

චර්චිල් (මෙහි දී නම් තිමති ස්පාල් අපතේ යැවීමකි), හිට්ලර් පිලිබඳ ඔහුගේ සැලකිලිමත් වීම හේතු කොට ගෙන දකිනු ලැබ ඇත්තේ ජෝර්ජ්ගේ මහා සහායකයා හැටියට ය. බෝල්ඩ්වින් (ඇන්තනි ඇන්ඩෲස්) හිට්ලර් සම්බන්ධයෙන් "චර්චිල් දිගට ම නිවැරදි වී” ය යි කියමින් 1937 දී සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කරයි. චිත‍්‍රපටිය චර්චිල් අසහාය දුරදක්නා නාසි විරෝධී නායකයා ලෙස පෙන්නුම් කෙරුනු යුදකාලීන ප‍්‍රචාරයට ඉන්ධන දමයි. යථාර්ථයේ දී බි‍්‍රතාන්‍යයේ අභිලාෂයන්ට නාසි ජර්මනියෙන් එල්ල වූ තර්ජනය පිලිබඳ චර්චිල්ගේ උත්සුකය එඩ්වඩ් රජකමින් ඉවත් කිරීමට සහාය දීම දක්වා ගමන් කලේ නැත. ඒ වෙනුවට ඔහු නායකත්වය දෙන්නේ "රජුගේ පක්ෂයකට ය” යි කතා පැතිර යන තරමට බලවත් පරිශ‍්‍රමයක් දැරුවේ එඩ්වඩ් සිහසුනෙහි තබාගැනුමට ය.

අනුප‍්‍රාප්තියෙන් අනතුරු ව ජෝර්ජ් සහ බිරිය දෙදෙනා ම බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය ආරක්ෂා කරගැනීමේ අටියෙන් සංහිඳියාව ට සහාය දැක්වූහ. 1939 දී යුදෙව් සරනාගතයින් රහසේ පලස්තීනයට යමින් සිටින බව දැනගත් පසු "මේ මිනිසුන් තමන්ගේ මුල් රට හැර යාම වැලැක්වීමට පියවර ගනිමින් තිබෙන බව සිතීම සතුටට කරුනකි” යි ජෝර්ජ් විදේශ ලේකම් හැලිෆැක්ස් සාමිවරයාට ලිවී ය.

යුදෙව්වන්ගේ "අනවසර සංක‍්‍රමනය අඩාල කිරීමට” නාසීන් දිරිගන්වන මෙන් හැලිෆැක්ස් බර්ලිනයේ බි‍්‍රතාන්‍ය තානාපතිවරයාට ටෙලිග‍්‍රාෆ් පනිවිඩයක් යැවී ය. පසු ව මව් රැජින වූ එලිසබෙත්, සංහිඳියාව පිලිබඳ දීර්ඝකාලීන උපදේශකයකු වූ හැලිෆැක්ස්ට සමීප වූවා ය. ඔහු හා සමීප සම්මුතියක් පල කෙරෙන බැව් සැලකෙන ඇගේ ඇතැම් පත‍්‍රිකා අදටත් යටපත් කරනු ලැබ තිබේ.

මෙහි සිත්ගන්නාසුලු කතාවක් ඇත. එහෙත් අධ්‍යක්ෂ ටොම් හූපර් සහ රචක ඩේවිඩ් සීල්ඩර් නැවත නැවතත් සිය ප‍්‍රහාරය ඉවතට ඇදගනිති. මෙය වනාහි නිල මිථ්‍යා නිර්මානය කෙරෙහි බෙහෙවින් ම අවිවේචනාත්මක වූ චිත‍්‍රපටියකි. හූපර් ද කිංග්ස් ස්පීච් සමර්පනය කරන්නේ යුද්ධය අතරතුර රාජකීය ගුවන් හමුදාවේ සිටිය දී මිය ගිය සිය සීයාට ය. හෙතෙම මෙය "අනවශ්‍ය මරනයක්” හැටියට විස්තර කොට තිබේ. ඔහුගේ ගුවන් යානය මෙහෙයුමකින් අනතුරු ව පෙරලා එමින් තිබිය දී ආසන්නතම ගුවන්තොටට ගොඩබැසීමේ අවසරය නොලැබීම නිසා කඩා වැටිනි.

නිෂ්පාදන සටහන්වලින් උපුටන්නේ නම්, ඔහුට අනුව මේ චිත‍්‍රපටිය "සිය ජනතාව ආවේශගන්වමින් ඔවුන් සටනේ දී එක්සත් කරන” නායකයකු ලෙස ඉස්මතු ව එන සයවැනි ජෝර්ජ් පිලිබඳ ව ය. එය කූටප‍්‍රාප්ත වන්නේ 1939දී කෙරුනු ජෝර්ජ්ගේ පලමු යුදකාලීන නත්තල් කතාවෙනි. අභිමානවත් සංගීතයේ පිටුබලය ඇති ව අපව පුනපුනා ගුවන්විදුලි ස්ටුඩියෝවෙන් ඡේදනය කරමින් රට පුරා නිවෙස් හා කම්හල්වල සිටින අසන්නන්ගේ ප‍්‍රීතියෙන් පිනාගිය මුහුනු වෙත යොමු කරනු ලැබේ. මුලු චිත‍්‍රපටයේ ම දක්නට ලැබෙන එක ම සාමාන්‍ය ජන සමූහය මෙය වන තරම් ය. ඔහු කතාව සමාප්ත කල විට, අන්තිමේ ඔහු වෙත දිනාගැනුනු ජනකායගේ සුබපැතුම් ලැබීමට ජෝර්ජ් සහ එලිසබෙත් බකිංහැම් මාලිගයේ සඳලුතලයට යති.

අදාල සැබෑ උත්සුකයන් පිලිබඳ ඉඳ හිට පල වන ඉඟි තිබේ. පස්වැනි ජෝර්ජ්ගේ මරනයට ප‍්‍රථම බර්ටි සහ ඔහුගේ පියා විකල්ප තුනක් සාකච්ඡා කරති. "අපත්, ජැක්බූට්කාරයිනුත් නිර්ධන පන්තික අගාධයත් අතර සිටගනු ඇත්තේ කවුද?”

පසු අවස්ථාවක ඔහු අටවැනි එඩ්වඩ් සමග දිගහැරෙමින් පවති දේශපාලන වාතාවරනය ගැන සාකච්ඡා කරන්නේ යුරෝපාකරය පුරා රාජකීය පවුල්වලට එල්ල ව ඇති විප්ලවවාදී තර්ජන පිලිබඳ අනතුරු අඟවමිනි. තමන් "රජකරමින්” කාර්ය බහුල ව උන් බව එඩ්වඩ් පවසයි. "රජකිරීම වනාහි අඩමාන වැඩකි”යි බර්ටි පිලිතුරු දෙයි.

චිත‍්‍රපටිය සම්බන්ධයෙන් ගත් කල සමාජ විප්ලවයේ අවදානම පිලිබඳ සඳහන් ඒ සා කුටිල ය. මෙය එහි අනුකූලතාවාදී පනිවිඩය වෙනුවෙන් හානිපූරනය කරන්නේ නැත. අත්‍යසාමාන්‍ය කතාවක් තුල ජෝර්ජ් චිත‍්‍රපටයේ තර්කය සමුච්චිත කරයි.

"මා රජෙක් නම්, මගේ බලය කොහි ද? මට යුද ප‍්‍රකාශ කල හැකි ද? ආන්ඩුවක් පිහිටුවිය හැකි ? බද්දක් පැනවිය හැකි ද? නැත. එහෙත් මා කතා කරන කල්හි මා ඔවුන් වෙනුවෙන් කතා කරතියි ඔවුන් සිතන නිසා සකලවිධ අධිකාරයේ අසුන මම වෙමි!

රාජාන්ඩුව බි‍්‍රතාන්‍ය රාජ්‍යයේ හිනිපෙත්තෙහි සිටිමින් එම රාජ්‍යයේ දේශපාලන උත්සුකයන් මගින් හැඩගැන්වෙන ඔවුන් අන් සියලු දෙනා මෙන් ම භාවමය ක්ෂතීන් සහිත - රාජ්‍යයේ ප‍්‍රධානීන් හැටියට එය වඩා වැඩියෙන් අසීරු වීම පමනක් සිදු වන - පවුල් විෂයයක් හැටියට නිරූපනය කෙරෙන ද කිංග්ස් ස්පීච් වනාහි රාජාන්ඩුව කෙරෙහි බොහෝ සෙයින් සානුකම්පික හා ඒ පිලිබඳ නිපදවුනු තරමක් යල් පිනූ චිත‍්‍රපට මාලාවක නවතම කෘතිය පමනි. ලෝග් සිය අමුත්තාගේ අනන්‍යතාව දැනගැනීමට පලමු ඔහු නොදැනුවත් ව රාජකීය පවුල සහ ගිවිසුම්ගත දාසභාවය සංසන්දනය කරයි. එය "ඊට සමාන යමක්” බව පවසමින් එලිසබෙත් එකඟ වෙයි. එවන් ප‍්‍රවිෂ්ටයක ඇත්තේ අල්ප වූ අගයකි.

Tuesday, June 14, 2011

සිනමා කලාව

සිනමාවෙන් බිඳක්...

ශ්‍රී ලංකීය සිනමාව යනු ශ්‍රී ලංකාවේ නිශ්පාදිත චිත්‍රපට අඩංගු සිනමාවයි. එය ආධුනික ව්‍යාපාරයක් ලෙස 1947 කඩවුනු පොරොන්දුව චිත්‍රපටයෙන් පටන්ගත් දා සිට අද දක්වා සිටගැනීමට බලවත් උත්සාහයක් දරන්නකි.ශ්‍රී ලංකීය චිත්‍රපට සාමාන්‍යයෙන් සිංහල භාශාවෙන් නිශ්පාදනය කෙරේ.

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා.

පළමුවන අවුරුදු 9 තුළ චිත්‍රපට බොහොමයක් නිශ්පාදනය කෙරුනේදකුණු ඉන්දියාවෙහිදී ය. එම නිසාම දකුණු ඉන්දියානු ආභාශය ඒ තුළ රෑඳී ඇත. පුරෝගාමී චිත්‍රපට නිශ්පාදක ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් 1956 දී නිශ්පාදිත රේඛාව චිත්‍රපටය සම්පූර්ණයෙන්ම චිත්‍රාගාර වලින් පිටත දී නිශ්පාදිත සැබෑ සිංහල කථා සාරයක් අඩන්ගු චිත්‍රපටයකි. ජාත්‍යන්තර හා දේශීය වශයෙන් අගය කළද, චිත්‍රපට නරඹීම සඳහා ප්‍රමාණවත් සංඛ්‍යාවක ප්‍රේක්ෂකයන් රට තුළ නොමති වූ නිසා රේඛාව ආදායම් අතින් ඉතා අසාර්ථක එකක් විය. සංදේශය හා කුරුලු බැද්ද යන චිත්‍රපට වලින් යම්කිසි උත්සාහයක් දැරුවද, 60 දශකයේ මුල් භාගයේ දී ඉන්දීය ආරයේ කථා සාරයන් අඩංගු චිත්‍රපට නිශ්පාදනය විය.

නැවතත් 1964 වසරේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය සඳහා ගම්පෙරලිය චිත්‍රපටය නිශ්පාදනය කළ අතර මෙය ගීත වලින් තොර පළමු සිංහල චිත්‍රපටය වේ. තවද මෙම චිත්‍රපටයද රේඛාව මෙන් චිත්‍රාගාර වලින් බැහැරව නිපදවන ලද්දකි. එමෙන්ම සිංහල සංස්කෘතිය පිළිබිඹු කළ චිත්‍රපටයක් ලෙස මෙයට ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබින. ගම්පෙරලිය නරඹන්නන්ගේ හා විචාරකයන් යන දෙපිරිසම එක හා සමානව අගයන ලදී. මෙම ඉදිරි ගමනේ ප්‍රතිඵලයක් ලෙස 60 දශකයේ අග භාගයේ දී මහාචාර්ය්‍ය සිරි ගුණසිංහයන්ගේ සත් සමුදුර අතුලුව කලාත්මක චිත්‍රපට කිහිපයක්ම බිහිවිය.

බඹරු අවිත් චිත්‍රපටයෙන්

1970 දශකයේදී දක්ෂයින් බොහෝ දෙනෙකු ඉදිරියට ආ අතර, වාණිජ චිත්‍රපට ඉන්දියානු චිත්‍රපට වලින් සොරා ගැනීම දිගටම කරගෙන යන ලදී. 1979 වසරේ දී නිශ්පාදිත වසන්ත ඔබේසේකරගේ පළමුවන චිත්‍රපටය වන, ඉතා හොඳ ප්‍රතිඡාරයක් ලබූ වෙස්ගත්තෝ හා පළගැටියෝ යන චිත්‍රපට ද තවත් බොහොමයක්ද මීට අතුලත් වේ.මෙම අවදියේ දී ඉදිරියට ආ තවත් අධ්‍යක්ෂකවරයෙකු නම්, ධර්මසේන පතිරාජයි.බඹරු අවිත් හා අහස් ගව්ව වනි චිත්‍රපට වලින් නගරයේ තරුණ ජීවිතවල ඇති ආතතිය පිලිඹඳව පරික්ෂා කරන ලදී. විශිෂ්ඨ කලාකරුවෙකු හා කවියෙකු වූ මහගම සේකරයන්ගේ 1970දී නිශ්පාදනය කළ, ඔහුගේ එකම නිශ්පාදනය වූ තුන්මං හංදිය චිත්‍රපටයද ශ්‍රී ලාංකීය සිනමාවේ ඉතා වදගත් චිත්‍රපටයකි.ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳ වන, පවිත්‍රා පීරිස් මහත්මියද, 70 දශකයේ දී කාන්තාවන්ගේ ගැටළු පිළිබඳව සිත යොමුකර නිශ්පාදන කළ අතර ගැහැනු ළමයි සහ ගඟ අද්දර ඒවාට නිද්සුන් වේ.

ඊළඟ දශක කීපයේ දී තිස්ස අබේසේකර, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර වැන්නෝ මෙම ව්‍යාපාරයට අලුතින් ජීවය පිඹීමට උත්සාහ දරා ඇත. විතානගේ ගේ පුරහඳ කළුවර හා විමුක්ති ජයසුන්දර ගේ සුළඟ එනු පිණිස යන චිත්‍රපට ලංකාවේ නිශ්පාදිත හොඳම චිත්‍රපට ඝනයට වැටේ. තවද, 2005 Cannes චිත්‍රපට උළෙලේදී සුළඟ එනු පිණිස චිත්‍රපටය Camera d'Or සම්මානයෙන් පිදුම් ලැබීය.

පසුගිය අවුරුදු වලදී පවුල් සම්බන්ධතා, ගබ්සාව හා උතුරේ දෙමළ ත්‍රස්තවාදීන් හා හමුදාව අතර ගටුම් යන අදිය පිළිබඳ හා එවයේ ප්‍රතිඵල පිළිබඳව චිත්‍රපට මගින් විසදුම් සෙවීමට උත්සාහ දරා ඇත। විශේෂයෙන්ම අශෝක හඳගමයන් මේ විශයන් තොරගනීම නිසා විවේචනයට භාඡනය වී ඇත।



මුල් යුගයේ සංවර්ධනය (1901-1947)

පළමුවරට 1901 දී, ආණ්ඩුකාර වෙස්ට් රිජ්වේ හා දෙවන බෝවර් සිරකරුවන් සඳහා පුද්ගලික චිත්‍රපට ප්‍රධර්ශ්නයක් පවත්වා ඇත. එය ලංකාවෙ (එවකට ලංකාව සිලෝන් ලෙස හැඳින්විය.) චිත්‍රපටයක් පෙන්වූ ප්‍රතම වතාව වේ. එය කෙටි චිත්‍රපටයක් වූ අතර, බ්‍රිතාන්‍යන්ගේ බෝවර් යුධ ජයග්‍රහනය, එලිසබෙත් රෑජිණගේ අවමංගල්‍ය උත්සවය හා එඩ්වඩ් VII රාජ්‍ය ප්‍රාප්තියද ප්‍රධර්ශනය විය. අනතුරුව තව තවත් චිත්‍රපට ප්‍රදර්ශනය කළ අතර මේවා බ්‍රිතන්‍ය පදිංචි කරුවන් හා ඇංග්ලිකානු සිංහලයින් අතර ප්‍රචලිත විය.

ශ්‍රී ලංකාවේ සිනමාව ප්‍රසිද්ධ කටයුත්තක් බවට පත්වූයේ වෙස්වික් මේජර් නැමැති ඉන්ග්‍රීසි ජාතිකයා විසින් වර්දනය කරන ලද බයස්කෝප් ප්‍රදර්ශනය නිසා ය. මේ චිත්‍රපට දර්ශනය කරනු ලබුවේ විවෘත ස්ථානයන්හි වන අතර, අටවාගත් කූඩාරම් තුල ඒවා ප්‍රදර්ශනය කෙරෙන ලදී. 1903 දී ප්‍රථම වතාවට ස්ථීර චිත්‍රපට ශාලා මදන් තියෙටර් මගින් ගොඩනගන ලදී. මෙම සමාගම ඉන්දියානු චිත්‍රපට ප්‍රදර්ශනය කරන ලද අතර, එය ඉතා සාර්තක විය. මෙනිසා එහි විරුද්දවාදී ඔලිම්පියා සමාගම මගින් වෙනත් චිත්‍රපට ශාලා දියුණු කිරීමට පෙළබිනි.

1925 දී රාජකීය වික්‍රමය (English: Royal Adventure) නම් චිත්‍රපටය ශ්‍රී ලංකාවේ දී පලමු වරට නිපදවන ලදී. ආචාර්ය එන්.එම්. පෙරේරා මෙහි ප්‍රධාන චරිතය රඟගෑ අතර, එය ඉන්දියාවේ හ සිංගප්පූරුවේ ප්‍රධර්ශනය කරන ලදී. 1933දී පලිගැනීම චිත්‍රපටය කොළඹදී තිරගත විය.

1920 හා 1930 කාලවලදී ඇමරිකානු තරුවන චාලි චප්ලින්, ග්‍රේටා ගාබෝර්, ජෝන් බැරිමෝ, රෑඩොල්ෆ් වැලෙන්ටීනෝ සහ ඩග්ලස් ෆෙයාබෑන්ක්ස්,කණිෂ්ට යන අය ලංකාවේ ජනප්‍රිය තරු වූහ. ෂීක් (The Shiek) හා බැග්ඩෑඩයේ සොරා (The Thief of Bagdad) යන චිත්‍රපට විශේෂයෙන්ම ජනප්‍රිය විය. 1930 වනවිට දී, ඉන්දියානු චිත්‍රපට, ඉන්ග්‍රීසි චිත්‍රපට අභිබවා ජනප්‍රියත්වයට පත්විය. බිල්වා මංගල් නැමැති චිත්‍රපටය ලංකාවේ ආදායම් වාර්ථා තැබීය.

ප්‍රාරම්භය (1947)

කඩවුණු පොරොණ්දුව චිත්‍රපටයේ රුක්මණී දේවි සහ බී.ඒ.ඩබ්. ජයමාන්න

දකුණු ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදක එස්.එම්. නායගම් ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍රපටය නිශ්පාදනය සඳහා විශේෂ මෙහෙවරක් ඉටු කරන ලදී. 1945 දී නායගම් විසින් චිත්‍රකලා මූවිටොන්(Chithrakala Movietone) සමාගම ආරම්භ කර, මදුරෙයිහි සිංහල චිත්‍රපට සෑදීම පිණිසම චිත්‍රාගාරයක් ගොඩනගන ලදී. බොහෝ විකල්පයන් ගැන විමසා බැලූ නායගම් අවසානයේ දී ඓතිහාසික වටිනාකමකින් යුත්, සාලිය අශෝකමාලා කථා පුවත චිත්‍රපටයකට නැගීමට තීරණය කලේ ය. මෙ සඳහා තිර පිටපතක් සොයාගැනීමට තරඟයක් පැවැත්වූ අතර, ඉන් සාලිය අශෝකමාලාහි තිර රචකයා වශයෙන් එවකට නගී එන කලාකරුවෙකු වූ ශාන්ති කුමාර් ය. කෙසේ නමුත් අදහස්වල නොගැලපීම නිසා මෙම කටයුත්ත මගදී නැවත්වීමට සිදුවිය. අනතුරුව, බී. ඒ. ඩ්බ්. ජයමාන්නයන් හා එක්ව ඔවුගේ කඩවුණු පොරොන්දුව නිශ්පාදනය කිරීමට එකඟතාවයක් අති කරගන්නා ලදී.

කුමාර් ඔහුගේ තිර පිටපත චිත්‍රපට ගතකිරීමෙ අරමුණින් නායගම්ගේ සමාගමින් ඉවත්වී, සිලෝන් තියෙටර් සමාගම චිත්‍රපටය ස්ඳහා මුදල් වියදම් කිරීමට එකඟ කර ගන්නා ලදී.මුලසිට නැවත චිත්‍රපටය ගොඩනැගීමේ භාරදූර කාර්යයට මුහුණ දුන් අශෝකමාලා ව්‍යාපෘතිය, කඩවුණු පොරොණ්දුව චිත්‍රපටයේ නිශ්පාදන කටයුතු ඇරඹී මාස දෙකකට පමණ පසු කොයිම්බටොර් හිදී තිරගත කිරීම අරඹන ලදී. නායගම්ගේ චිත්‍රපටය 1947 ජනවාරි මස 21වන දින මයිලන්ඩ් හිදී තිරගත විය. අශොකමාලා චිත්‍රපටය ඉන් මාස 3කට පසු 1947 අප්‍රේල් මාසයේ දී එල්ෆිනිස්ටන් හිදී තිරගත විය.

චිත්‍රපට දෙකම ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය වුවද, විවේචකයන් විසින්, ඒවා දකුනු ඉන්දියානු සිනමාවෙන් උපුටා ගත් දේ යැයි විවේචනයට භාජනය කෙරිණ


මූලික අවස්ථාව (1947 - 1955)

කඩවුණු පොරොන්දුවේ සාර්ථකත්වයත් සමඟ, බී.ඒ.ඩ්බ්. ජයමාන්න ඔහුගේ නාට්‍යානුසාරයෙන් චිත්‍රපට වැලක්ම නිශ්පාදනය කරන ලදී. මේවා, කපටි ආරක්ෂකයා, වැරදුනු කුරුමාණම (1948), හදිසි විනිශ්චය (1950, මෙය ජයමාන්නයන් විසින් අධ්‍යක්ෂනය කරන ලද ප්‍රථම චිත්‍රපටය වේ. ඉන් පසු ඔහු විසින් නිශ්පාදිත සෑම චිත්‍රපටයකම අධ්‍යක්ෂනය ඔහු විසින්ම දරණ ලදී.), සැඟවුනු පිළිතුර (1951), උමතු විශ්වාසය (1952), කැලෑ හඳ (1953), අයිරාංගනී (1954), මතභේදය (1954), දේව විපාකය (1956), වන ලිය (1958), හදිසි විවාහය (1959), කවට අන්දරේ(1960), ජීවිත පූජාව(1961), මංගලිකා(1963) සහ මඟුල් පෝරුව (1967, ජයමාන්නයන්ගේ අභාවය නිසා වෙනත් අධ්‍යක්ෂකවරයෙකු විසින් නිම කරන ලදී).ජයමාන්නයන් දකුණු ඉන්දීය සිනමාවෙන් බොහෝ ක්‍රම විධි ලබාගත් අතර, කලාත්මක චිත්‍රපට සංවර්ධනය සඳහා කිසින්දු දායකත්වයක් නොදරන ලදී. ඔහුගේ චිත්‍රපට බොහොමයකම රුක්මණි දේවි සහ එඩී ජයමාන්න යුගලයේ සහභගීත්වය තිබූ අතර (නමුත් කිසි විටෙකත් ඔවුහු තිරයේ ආදර වන්තයන් නොවූහ.) මෙය ඔවුන් ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍රපට තාරකාවන් බවට පත් කරන ලදී.

රුක්මණී දේවි

නිදහසේ උදාවත් සමඟ, ශ්‍රී ලංකාව තුලට හා පිටතට ගමන් කිරීමට තහංචි පැනවීම නිසා, වියදම් අඩුකර ගැනීම සඳහා නායගම්ට ඔහුගේ ව්‍යාපාරය දිවයින තුලට ගෙන ඒමට සිදුවිය. ඔහු කඳාන ප්‍රදේශයේ ඉඩමක් මිලයටගෙන ශ්‍රී මුරුගන් නව කලා චිත්‍රාගාරය ගොඩනගන ලද අතර (පසුව එය එස්.පී.එම්. චිත්‍රාගාරය ලෙස හඳුන්වනු ලැබිනි.), එය එවකට රටේ වූ දි‍යුණුම චිත්‍රාගාරය විය. ඔහුගේ ප්‍රථම නිශ්පාදනය වූ බණ්ඩා නගරයට පැමණේ (1952), මෙය රට තුළ ප්‍රේක්ෂකයන් අතර සාර්ථක විය. එය ප්‍රථම ස්වදේශීය නිශ්පාදනය වුවද තාක්ෂණය අතින් දකුණු ඉන්දීය තත්වයේම විය. නායගම් ඊළඟට ප්‍රේම තරංගය (1953) හා අභ්‍යන්තර ස්ත්‍රී (1954) නිශ්පාදනය කරන ලදී. චිත්‍රාගාරයේ පහත් මට්ටම අනුව නායගම් උසස් තත්වයේ ආම්පන්න මිලයට නොගන්නා ලදී. එමනිසා මේවා බොලිවුඩයෙන් ගෙන්වූ එවාට සම කළ නොහැකි විය. මෙම චිත්‍රපට වඩාත්ම දකුණු ඉන්දියානු චිත්‍රපට වට්ටෝරුවලට අනුගත වූ ඒවා විය. (ඒවායේ කාර්මිකයන් සියළු දෙනාම ඉන්දියානුවෝ වූහ.)

එවකට නැගී ආ කලාකරුවන් අතර සිරිසේන විමලවීර ප්‍රධාන වශයෙන් කැපී පෙනේ. ඔහුගේ චිත්‍රපට බොහොමයක් ඉතිහාසය පදනම් කරගෙන හා අශෝක අධිරාජ්‍යයා, රොබින් හුඩ් වැනි ඓතිහාසික චරිතයන් ආශ්‍රිතව ගොඩනැගී ඇත.

මේ වකවානුවේ තවත් ප්‍රධාන නිශ්පාදකවරයෙක් ලෙස කේ। ගුණරත්නම් හැඳින්විය හකි අතර ඔහුගේ, ඉන්දියාවේ සලෙම්හි 'මොඩන් තියෙටර්' චිත්‍රාගාරයේදී නිශ්පාදිත සුජාත තාක්ෂණිකව දියුණු චිත්‍රපටයක් ලෙස කැපී පෙනුනු නමුදු එය ශ්‍රී ලාංකීය සංස්කෘතිය විදහා දැක්වීමට අපොහොසත් වී අති බැව් පෙනේ.

රේඛාව (1956)

1956 දී වාර්ථාගත චිත්‍රපට නිශ්පාදක ලෙස්ටර් ජේම්ස් පීරිස් හා ඔහුගේ සම කාර්මික ශිල්පීන් වන ටයිටස් තොටවත්ත හා විලියම් බ්ලේක් යන අය රාජ්‍ය චිත්‍රපට මණ්ඩලයෙන් ඉවත්වූයේ සත්‍ය වශයෙන්ම ශ්‍රී ලාංකික චිත්‍රපටයක් නිශ්පාදනය කිරීමේ අරමුනෙණි। මේ අරමුණ සිත් දරාගෙන රේඛාව චිත්‍රපටය නිශ්පාදනය අරඹන ලද්දේ චිත්‍රාගාරවලින් තොර සාමාන්‍ය පරිසරය සහ ඉතා අඩු වියදම් පිරිස් බලයක් යොදා ගනිමිනි. මෙහි එන කථා පුවත ප්‍රධාන වශයෙන්ම, ශ්‍රී ලාංකීය ජන සමාජය හා එ අශ්‍රිත දේ සාකච්ඡාවට බඳුන් කළ අතර එය විශ්ම කර්ම බල අති සේන නැමැති ගැමියෙකු වටා ගෙතී තිබුනි.එය එවකට ශ්‍රී ලංකාවේ චිත්‍රපට සඳහා ප්‍රේක්ෂක පිරිසක් නොමැති නිසා ආදායම් අතින් බිඳවටුනු නමුත් අන්තර්ජාතික වශයෙන් ඉමහත් ඇගයීමට ලක්විය. කෑන්ස් ජාත්‍යන්තර චිත්‍රපට උළලේ ප්‍රධර්ශනය කිරීම මගින් ඒ බැව් තහවුරු වේ


රේඛාව ආරයට ගොඩ නැගුනු කලාව (1957-1963)

රේඛාව චිත්‍රපටය ඉන්දියානු සිනමාවෙන් වැහී තිබු ශ්‍රී ලාංකික සිනමාව වෙනස් කිරීමට අපොහොසත් වුනු නමුදු, ක්ෂේත්‍රයට එන්නට බලා උන් කුඩා කණ්ඩායම් වලට මෙය විශාල අනුබලයක් විය. මෙම කණ්ඩායම් අතර කුරුළු රෑන නිශ්පාදන කණ්ඩායම වන තිරපිටපත් රචක පී.කේ.ඩී. සෙනෙවිරත්න, නිශ්පාදක ජෝන් අමරතුංග හා නිළි පුන්‍යා හීන්දෙනිය කැපී පෙනේ.

රේඛාව චිත්‍රපටයෙන් පිබිදුනු අමරතුංගයන්, සෙනෙවිරත්නගේ කුරුළුබැද්ද ගුවන්විදුලි නාට්‍යය චිත්‍රපටයකට නැගීමට යෝජනා කළේ ය. සුළු සුළු අඩුහුඩුකම් තිබුනද ශ්‍රී ලාංකීය සංස්කෘතියේ විවිධ පැතිකඩවල් ගෙනහැර දැක්වීමට එම චිත්‍රපටය සමත් විය. ප්‍රවීණ නිලි පුන්‍යා හීන්දෙනිය මෙම චිත්‍රපටයේ විශිෂ්ඨ රංගනයක යෙදෙන්නේ පෙර නිළියන්ගෙ තිබූ ඉන්දියානු සම්භවය සම්පූර්ණයෙන්ම බැහැරව සත්‍යවශයෙන්ම ශ්‍රී ලාංකීය ලෙසටය.එය එවකට ශ්‍රී ලංකාවේ අති සාර්ථක වූ අතර එහි වූ ශ්‍රී ලාංකීය බව වඩාත් ඇගයීමට ලක්විය.මෙය මොවුන් විසින්ම මේ හා සමාන සිකුරු තරුව නිශ්පාදනයට හේතු විය

ගම්පෙරලිය (1963)

ගම්පෙරළිය චිත්‍රපටයෙන්

1963දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නිෂ්පාදක ඇන්ටන් වික්‍රමසිංහ මහතා සමග එකතුව, ජනප්‍රිය නවකථාවක්වූ මාටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය නවකතාව ඇසුරෙන්, චිත්‍රපටයක් නිෂ්පාදනය කළ අතර, පොදුවේ චිත්‍රපටවල අඩංගුව තුබූ සිංදු, නැටුම්, විහිළු තහලු සහ සටන් වලින් තොර චිත්‍රපටයක් බවට එය පත් විය. මෙය කලාත්මක එකක් වුවද , වානිජමය සාර්තකත්වයක්ද ලබා ගැනීමට සමත් විය. මෙම චිත්‍රපටය නවදිල්ලියේදී පැවති තුන්වන ජාත්‍යන්තර චිත්‍රපට උළෙලීදී රජත මොනර සම්මානය (Golden Peacock Award) හා විචාරකයන්ගේ තිළිණයද (Critics Prize) ලැබිනි।

කලාත්මක පිබිදීම (1964 -1970)

ගම්පෙරළිය චිත්‍රපටයේ සාර්ථකත්වය , ශ්‍රී ලංකා චිත්‍රපටවල මාර්ගය විශාල වශයෙන් වෙනස් කරන ලදී. ගම්පෙරළිය ප්‍රදර්ශනයෙන් පසු මෙතෙක් ඉවත දමා තුබූ, සැබෑ බාහිර දර්ශන අඩංගු චිත්‍රපට නිෂ්පාදනයට යුහුසුළු විය.

පරසතු මල් චිත්‍රපටයෙන්..

සෙනවිරත්න නැවතත් , ගැමි දිවිය පිළිබඳවවූ පරසතුමල් නැමති තිර රචනය සමග මතුවිය. මෙවර ඔහුට චිත්‍රා බාලසූරිය නැමති පොහොසත් නිෂ්පාදකයකුගේ සහාය ලැබුනු අතර ඔහු අමරතුංගයන් මෙන් ආර්ථික අපහසුතාවලට නොවැටෙනු ඇත. බාලසූරිය කලාත්මක චිත්‍රපට නිපදවීම පිළිබඳව හොඳ උනන්දුවක් දැක්වූ අතර ඔහුට උවමනා වූයේද ගම්පෙරළිය වැනි චිත්‍රපටයක් නිෂ්පාදනය කිරිමටය. මෙහිදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙ බිරිඳ වන සුමිත්‍රා පීරිස් මහත්මිය තාක්ෂණ අධ්‍යක්ෂක ලෙස යොදාගෙන, ගාමිනී ෆොන්සේකාට අධ්‍යක්ෂ්ණයේ අවස්ථාවක් දෙන ලදී. ඔහු රේඛාව චිත්‍රපටයේද මෙවැනි තත්වයක සිටින ලදී. කැමරාකරු සුමිත්ත අමරසිංහ වූ අතර, රජයේ චිත්‍රපට ඒකකයේ පුහුණුවලත් ඔහු බාහිර කැමරාකරණය පිළිබඳව පුහුනුවක් ලබා ඇත. චිත්‍රපටය ජනප්‍රිය හා වනු ඇතැයි අදහස් කෙරිනි.

1965දී සෙරන්ඩිබ් නිෂ්පාදකයන් (Serandib Productions) ද කලාත්මක නිෂ්පාදනයට අනුකූලව සාරවිට නැමති චිත්‍රපටය නිෂ්පාදනය කරන ලදී. ජෝ අබේවික්‍රම නැමති විකට නළු පළමු වරට ශ්‍රී ලංකා සිනමාවට එකතුවන ලදී. එම වසරේ ජාතික තිළිණයන් බොහෝමයක්ම මෙම චිත්‍රපටය විසින් දිනා ගන්නා ලදී. සන්දේශය චිත්‍රපටයෙන් පසු ටයිටස් තොටවත්තයන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙන් ඉවත්වී චන්ඩියා චිත්‍රපටය එම අවුරුද්දේම අධ්‍යක්ෂණය කළහ.

ජී.ඩී.එල් පෙරේරා ඔහුගේ කලා පෙල සමඟ වෙනමම අංශයකට යොමුවෙමින් සමකාලීන නාගරික වටපිටාවක දහසක් සිතුවිලි නැමති චිත්‍රපටය නවතම කැමරාවකින් හා විශේෂිත පෙරනයන් යොදා පලමු වරට ශ්‍රී ලංකා සිනමාවේදී පටිගත කරන ලදී. පෙරේරා සහ ඔහුගේ කණ්ඩායම ග්‍රාමීය ජීවිතය අලලා සාමා නැමති චිත්‍රපටය නිපදවන ලද අතර එය අතිශය ජනප්‍රියත්වයට පත්විය.

සිරි ගුණසිංහයන්ගේ සත්සමුදුර 1966දී නිෂ්පාදිත ඉතාමත් සාර්ථක චිත්‍රපටයක් විය. මෙය ධීවර වටපිටාවක් පිළිබඳ වූවක් වන අතර දෙනවක හාමිනේ, එඩ්මන්ඩ් විජේසිංහ සහ සිරිල් වික්‍රමගේ යන අය රඟපෑමෙන් එක්වූවා. ගුණසිංහයන්ගේ නවතම සිනමා උපක්‍රම, එනම් ඉතා බහුල ලෙස සමීප රූප යෙදීම විය. තිර රචණයෙන්, අධ්‍යක්ෂණයෙන් ගුණසිංහයන් සමග සිටියේ වසන්ත ඔබේසේකරය. සංස්කරනය හා ඡායා ගත කිරීම කරන ලද්දේ ඩී.බී. නිහාල්සිංහයන් විසිනි.

මේ අවදියේදී නිශ්පාදිත වෙනත් වැදගත් චිත්‍රපට වනුයේ ඔබේසේකරගේ වෙස්ගත්තෝ සහ නිහාල්සිංහයන්ගේ වැලි කතර, නිම්වලල්ල, මහගම සේකරගේ තුන්මන් හන්දිය හා පියසිරි ගුණරත්නයන්ගේ මොකද උනේ සහ සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කථාව ආදියයි. හන්තානේ කථාවෙන් අතිශය ජනප්‍රියත්වයට පත් විජය කුමාරතුංගයන් හඳුන්වා දෙනු ලැබීය।


පමාවු සංවර්ධනය / පෞද්ගලික මුදුන්පත්කරගැනීම (1971-1976)

නිධනය චිත්‍රපටයේ ගාමිණී හා මාලිනී..

1971දී සමාජවාදී රජයක් රටෙහි බලයට පත්වන ලදී. චිත්‍රපට කර්මාන්තය කෙරෙහි යම්කිසි පාලනයක් ඇතිකිරීමට ඔවුන් උත්සුකවු අතර චිත්‍රපටයක් නිශ්පාදනයට පෙර මූලික අවශ්‍යතා සමහරක් සම්පූර්ණ කල යුතුව තිබින. මේ සමයේදී, නිදහස්වු දක්ෂතාවන් පිළිබිඹු කරමින් ඉදිරියට ආ සිනමාව, බාල වානිජ චිත්‍රපට ගලා ඒමනිසා ඉවතට විසිවී ගියහ. මෙය ඇතිවූයේ අලුතින් ඇතිකරන ලද රජයේ ණය දීමනා නිසාවෙනි.

ටයිටස් තොටවත්තයන් හා ලෙස්ටර් ජේම්ස් පීරිස් යන දෙදෙනා කලාත්මක චිත්‍රපට නිපදවීම පිළිබඳ ප්‍රධාන තැන ගන්නා ලදී. තොටවත්ත, හාර ලක්ෂය, සිහසුන, සාගරිකා සහ මංගල යන චිත්‍රපට නිපදවා තාක්ෂණ දක්ෂතා තත්ව සමග සම්මිශ්‍රණය කර ප්‍රධාන ප්‍රෙක්ෂක ආකර්ෂණය ඩැහැගත් අතර, රජයේ යම්යම් තහනම් තිබුනද, ලෙස්ටර් ජේම්ස් පීරිස් ඔහුගේ ඉතාම වැදගත් කෘතීන් මෙම අවදියේදී නිපදවීමෙන් වඩාත් සාර්තක විය.

ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් 1972 දී නිශ්පාදිත නිධානය චිත්‍රපටය අවුරුදු 50ක් ඇතුලත නිපදවූ විශිෂ්ඨම චිත්‍රපටය ලෙස රජයේ මණ්ඩලයක් විසින් තීරණය කරන ලදී. එහි ගාමිනී ගේ සහ මාලිනී ගේ රඟපෑම් අති දක්ෂවූ අතර, පීරිස් ගේ අධ්‍යක්ෂණයද අති දක්ෂ විය. පීරිස්ට එය ජාත්‍යන්තර සාර්තකත්වයක්වූ අතර, වැනීසියේදී පවත්වන ලද ජාත්‍යන්තර චිත්‍රපට උළෙලීදී සිල්වර් ල්යන් ඔෆ් සෙන්ට් මාර්ක් තිළිණය (Silver Lion of St.Mark Award) දිනාගැනීමට හැකිවූ අතර එම අවුරුද්දෙදී කැපීපෙනෙන චිත්‍රපටය බවටද පත්විය. ලන්ඩන් චිත්‍රපට උළෙලීදී ඩිප්ලෝමා සහතිකයක් ලද අතර ඔහුගේ මේ සමයේ පසු නිශ්පාදන ඉතා සාර්තක විය.(දෑස නිසා සහ මඩොල් දූව )

යාපාගේ හන්තානේ කථාවෙහි වැඩ කළ ධර්මසේන පතිරාජ, ඔහුගේම අධ්‍යක්ෂණයක්වූ අහස් ගව්ව සමගින් 1974දී මතුවිය। එයට නාගරික තාරුන්‍යයේ ජීවය අල්ලා ගැනීමට හැකිවූ අතර, සිරිල් වික්‍රමගේ වැනි නළුවනට වඩා හොඳ කළාත්මක කෘති වලට සම්බන්ධවීමේ හා දියුණුවීමේ අවස්ථාව ලැබින. ඔබේසේකරද සමානවූ තේමාවක් ඔහුගේ කෘතියන්හීදී අනුගමනය කරන ලදී.( වල්මත්වූවන් )

යලි මතුවීම (1977-1983)

1977 චන්දයත් සමගින් වඩාත් ධනවාදී පක්ෂයක් බලයට පැමිණි අතර පනවා තුබූ සමහර තහනම් ඉවත් කරන ලදී. සුමිත්‍රා පීරිස්, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳ, 1978දී ගැහැණු ළමයි සමගින් ඇගේ අධ්‍යක්ෂණ සම්ප්‍රාප්තිය සිදු කළාය. එය ග්‍රාමීය ගැහැණු ළමයකු කෙරෙහි සමාජ බලපෑම් කෙළෙස ඇතිවන්නේද යන්න පෙන්වූ අතර, එය වසරේ හොඳම චිත්‍රපටය බවට පත්විය. වසරේ හොඳම චිත්‍රපටය ලෙස සැලකූ එය ප්‍රසංසාවට හා වාර්තාමය මුදල් ඉපයීමේ තත්වයට පත්වූ අතර, ලන්ඩන් චිත්‍රපට උළෙලට ඉදිරිපත් කෙරීය. එමෙන්ම කාර්තගේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලී (Carthage International Film Festival) දී ජූරියේ තිළිණයටද හිමිකම් කීය. වසන්ති චතුරාණි ඇගේ ප්‍රථම චිත්‍රපටයේම ප්‍රධාන චරිතයෙන් දක්වන රඟපෑම වර්ණනාවට භාජනය විය.

ගඟ අද්දර චිත්‍රපටයෙන්

පීරිස් මහතාගේ ඊ ලඟ චිත්‍රපටය වූයේ 1980 නිෂ්පාදිත ගඟ අද්දර චිත්‍රපටයයි. මෙය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ සිත් සතන් බැඳගන්නා සුළුවූ, රට තුල වාර්තාගත සියළු ආදායම් අභිබවා ගිය එකක් විය. විවේචකයන්ගේද ප්‍රසංශාවට භාජනයවූ මෙය චිත්‍රපට සඳහා ප්‍රධානය කරනු ලබන ජාතික තිළිණයන් කිහිපයක්ම දිනාගැනීමට සමත්වූ අතර, දකුණු ආසියාතික චිත්‍රපට උළෙලීදී ඩිප්ලෝමා සහතිකයක්ද හිමි විය.

මෙම කාලය තුල පතිරාජ ඉතා ක්‍රියාශීලීව, එයා දැන් ලොකු ලමයෙක් 1977දීද, බඹරැ ඇවිත් 1978දීද, පොන්මනී සහ සොල්දාදු උන්නැහේ 1981දීද අධ්‍යක්ෂණය කරන ලදී. බඹරු ඇවිත් ඔහුගේ ප්‍රධානම කර්තවයවූ අතර, ධීවර සමාජයේ සහ නාගරික තාරුණ්යයේ සමාජීය ආතතිය පිළිබඳව විවරණයක යෙදෙන ලදී. පතිරාජගේ පොන්මනී චිත්‍රපටය දමිල භාශාවෙන් නිෂ්පාදනය වූවකි. දමිල සිනමාව රටතුල වර්ධනය කිරීමේ අදහසින් එම චිත්‍රපටය කරන ලදී. කෙසේ වෙතත් දමිල ප්‍රේක්ෂකයින් මෙම චිත්‍රපටය නොසලකා හැරියේ සිංහල අධ්‍යක්ෂවරයා කෙරෙහි විශ්වාසය නොතැබූ හෙයිනි. සොල්දාදු උන්නැහේ- පැරණි සොල්දාදුවකුගේ, ගණිකාවකගේ, මත් පැන් සොඬකුගේ හා සොරෙකුගේ ජීවිතයන්හි ඉරණම කෙරෙහි ආලෝකයක් පතිත කිරීමට උත්සහා දරා ඇත.

1979දී ඔබේසේකරයන් ඔහුගේ ඉතාමත් අගය කල චිත්‍රපටයවූ පළඟැටියෝ නිර්මාණය කරන ලදී. එය නාගරික තාරුණ්යයේ අපහසුතා ගැන කථා කරන ලදී. ඔහුගේ ඊ ලඟ චිත්‍රපටයවූ 1983දී නිශ්පාදිත දඩයමටද හොඳ ප්‍රතිචාරයක් ලැබිණි. පළඟැටියෝ හි ප්‍රධාන නළු ධර්මසිරි බණ්ඩාරණායකයන් 1980දී ඔහුගේ ඉතාමත් ශෛලී ගත කල හංස විලක් චිත්‍රපටයෙන් අධ්‍යක්ෂකවරයකු ලෙස චිත්‍රපට නිපැයුමට පාතබන ලදී.

පිරිහීම ( 1983-1990 )


රූපවාහිණියේ නැගීමත්, සිවිල් යුද්ධයේ පටන් ගැන්මත් සමග, චිත්‍රපට ආදායම අඩුවීමට පටන්ගත් අතර ශ්‍රී ලංකා වාසීන් සිනමා ශාලා වලට යාම අතහැර නිවෙස් වල නතර වීමට පුරුදු වූහ.

මෙම අවදියේ ඉතාමත් වැදගත් චිත්‍රපට වූයේ, සුමිත්‍රා පීරිස්ගේ සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා, මාටින් වික්‍රමසිංහ ගේ විරාගය නවකථාව ඇසුරින් තිස්ස අබේසේකර නිපදවූ විරාගය (1988) සහ ඩී।බී. නිහාල්සිංහයන්ගේ රිදී නිම්නය (1983), මල්දෙනියේ සිමියොන් (1986) සහ කෙළි මඬළ (1991) වේ. නිහාල්සිංහ ඔහුගේ චිත්‍රපට වලට අතිදක්ෂ තාක්ෂණ අධ්‍යක්ෂණයන් කවන ලදී.

ස්වාදීන චිත්‍රපට සාදන්නන්ගේ නැගිටීම (1990-2000)

ශ්‍රී ලංකා සිනමාවේ ඉතාමත් වැදගත් චිත්‍රපට සාදන්නකුවූ ප්‍රසන්න විතානගේ ඔහුගේ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටයවූ සිසිල ගිනිගනී 1992දීද, අනන්ත රාත්‍රිය 1995දීද සාදන ලදී. දෙවැන්න ඉතා සාර්ථක එකක් වූ අතර, ජාත්‍යන්තර චිත්‍රපට උත්සව රාශියක ප්‍රදර්ශනය කල හා තිළිණ රාශියක් දිනාගත්තක් විය. අවුරුදු දෙකකට පසු නැවතත් විතානගේ පවුරු වලළු නැමති පැරණි නාට්‍යය, පෙර දීප්තිමත් තාරකාවක් වූ නීටා ප්‍රනාන්දු යොදා සාදන ලදී. මෙම චිත්‍රපටයද විවේචකයන්ගේ ප්‍රසංශාවට භාජනය විය. ඔහුගේ දශකයේ අවසාන චිත්‍රපටයවූ පුර හඳ කළුවර ශ්‍රී ලංකාවේ සොල්දාදුවන්ගේ පවුල් වලට සිවිල් යුද්දය බලපාන්නේ කෙසේදැයි පරීක්ෂණයට ලක් කරන ලදී. ප්‍රධාන භූමිකාව රඟපෑ ජෝ අබේවික්‍රම, භාවනානුයෝගී රඟපෑමක නිරතවූ අතර, චිත්‍රපටය විතානගේගේ විශිෂ්ඨම නිපැයුම ලෙස සලකන ලදී

නූතන යුගය (2000- අද දක්වා)

ගොනුව:AbaFilm.jpg
අබා චිත්‍රපටයෙන්..

ලෝකප්‍රසිද්ධ කෑන්ස් චිත්‍රපට උළේලේ (Cannes Film Festival)දී කැමරා ඩ් ඔර් (Caméra d'Or) නැමති ගෞරවනීය සම්මානය දිනාගැනීමට, ප්‍රථම ශ්‍රී ලාංකිකයාවූ විමුක්ති ජයසුන්දරට, සුලඟ එනු පිනිස(2005) නිපයුමෙන් හැකිවිය.

විවාදාත්මක චිත්‍රපට නිපැයුම් කරු අසෝක හඳගමගේ චිත්‍රපටි දැනට රටෙහි පවත්නා වර්ගවාදී ගැටුම් පිළිබඳව යථාර්තවාදී සැබෑ විග්‍රහයක් කෙරෙන ඒවා බව සිනමා කර්මාන්තයට අදාල බොහෝ විද්වතුන්ගේ අදහසවේ. ඔහු චිත්‍රපට පහක් නිර්මානය කර ඇත. සඳ දඩයම, චන්ඩ කින්නරී, මේ මගේ සඳයි, තනි තටුවෙන් පියාඹන්න හා අක්ෂරය මෙම චිත්‍රපටි පහ වේ. මේවා බොහෝ ජාත්‍යන්තර සිනමා උළෙලවල් වලදී තිළිණ ලබාගෙන අත. ඔහු බොහෝ අවස්ථා වල චිත්‍රපට පරීක්ෂක මණ්ඩලයේ තහන්චි වලට ලක්විය. මෑතකදී ඔහුගේ අක්ෂරය චිත්‍රපටය ශ්‍රී ලංකාවේ තහනමට ලක්විය.

මෑත අතීතයේ ප්‍රදර්ශනයවූ සූරිය අරණ, සමනල තටු, හිරිපොද වැස්ස යන චිත්‍රපට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් සිනමා ශාලා වලට ඇද ගැනීමට සමත්ව ඇත. සූරිය අරණ චිත්‍රපටය, ශ්‍රී ලංකා චිත්‍රපට ඉතිහාසයේ වැඩිම ආදායම් වාර්ථා තැබුවේ මිලියන 121ක වාර්ථා අදායමක් ලබමින්ය. ජැක්සන් ඇන්තනීගේ අබා චිත්‍රපටය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මුදලක්, එනම් රුපියල් මිලියන 60ක් වැය කල චිත්‍රපටය වේ। චීනය, ඉතාලිය සහ ඕස්ට්‍රේලියාව ආදී රටවල මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය දැක්වීමෙන් පසු එම රටවල චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම පිළිබඳව උනන්දුවක් දක්වා ඇත. චීනය විශේෂයෙන්ම මෙය චීන බසට හඬකවා ප්‍රදර්ශනය කිරීමට උනන්දුවක් දක්වා ඇත. අබා 2008 අගෝස්තු 08 දින තිරගත කරන ලදී.

පෙරමුනේ සිටින නළුවන් හා නිළියන්

ප්‍රථම සිංහල චිත්‍රපටයවූ කඩවුන පොරොන්දුවේ නළු නිළි යුවල වූ රුක්මණී දේවි හා එඩී ජයමාන්න යන දෙදෙනා ප්‍රථමයෙන් රට තුල ප්‍රසිද්ධිය ලැබගෙන පසුවූහ. ඔවුහු මිණේවා නාට්‍ය කණ්ඩායමේ (Minerva group) සාමාජිකයින් වශයෙන් එක්තරා ප්‍රසිද්ධියක් ලබා සිටියහ. එය චිත්‍රපට වලට අවතීර්න වීමටද සාධක විය. ඔවුහු 1950 සහ 1960 දශක තුල චිත්‍රපට වල රඟපෑමේ නියුතුව සිටියහ.


විජය කුමාරතුංග

1960දී ගාමිණී ෆොන්සේකා ඓතිහාසික චිත්‍රපටයක්වූ සන්දේශය චිත්‍රපටයෙන් ඉදිරියට එන ලදී. මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ආනන්ද ජයරත්න වුවද, ගාමිණී ෆොන්සේකා ඔහුව අභිබවා, ඔහුගේ ප්‍රථම චිත්‍රපටයෙන්ම ඉදිරියට එන ලදී. ෆොන්සේකා ඔහුගේ ඊ ලඟ චිත්‍රපටය වූ රන්මුතු දූවෙන් ප්‍රසිද්ධ නිළි ජීවරාණී කුරුකුලසූරිය සමගින් ඔහුගේ දක්ෂම රඟපෑම ඉදිරිපත් කරන ලදී. ගාමිණී ෆොන්සේකාගේ වෙනත් ප්‍රධාන චිත්‍රපට වූයේ, ධීවරයෝ, අදට වැඩිය හෙට හොඳයි සහ චන්ඩියායි.

1969දී විජය කුමාරතුංග, හන්තානෙ කථාවේ ප්‍රධාන නළුවා ලෙස තරුවක් බවට පත්විය. ඊ ලඟ දශකය තුල , ෆොන්සේකා ලඟට ඉතාමත් ජනප්‍රිය නළුවා වූයේ ඔහුයි. බොලිවුඩ් වානිජ චිත්‍රපටවල ආභාශය ලද චිත්‍රපට වලට අමතරව, බඹරු ඇවිත්, එයා දැන් ලොකු ලමයෙක් හා ගඟ අද්දර වැනි කලාත්මක චිත්‍රපට වලද ඔහු රඟපෑවේය. 1989දී ඔහුගේ හදිස්සි මරණය හේතුවෙන් ප්‍රසිද්ධ සිනමාව කෙරෙහි විශාල බලපෑමක් ඇතිවිය.

පෙරමුනේ සිටින නළුවන් හා නිළියන්

ප්‍රථම සිංහල චිත්‍රපටයවූ කඩවුන පොරොන්දුවේ නළු නිළි යුවල වූ රුක්මණී දේවි හා එඩී ජයමාන්න යන දෙදෙනා ප්‍රථමයෙන් රට තුල ප්‍රසිද්ධිය ලැබගෙන පසුවූහ. ඔවුහු මිණේවා නාට්‍ය කණ්ඩායමේ (Minerva group) සාමාජිකයින් වශයෙන් එක්තරා ප්‍රසිද්ධියක් ලබා සිටියහ. එය චිත්‍රපට වලට අවතීර්න වීමටද සාධක විය. ඔවුහු 1950 සහ 1960 දශක තුල චිත්‍රපට වල රඟපෑමේ නියුතුව සිටියහ.


විජය කුමාරතුංග

1960දී ගාමිණී ෆොන්සේකා ඓතිහාසික චිත්‍රපටයක්වූ සන්දේශය චිත්‍රපටයෙන් ඉදිරියට එන ලදී. මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ආනන්ද ජයරත්න වුවද, ගාමිණී ෆොන්සේකා ඔහුව අභිබවා, ඔහුගේ ප්‍රථම චිත්‍රපටයෙන්ම ඉදිරියට එන ලදී. ෆොන්සේකා ඔහුගේ ඊ ලඟ චිත්‍රපටය වූ රන්මුතු දූවෙන් ප්‍රසිද්ධ නිළි ජීවරාණී කුරුකුලසූරිය සමගින් ඔහුගේ දක්ෂම රඟපෑම ඉදිරිපත් කරන ලදී. ගාමිණී ෆොන්සේකාගේ වෙනත් ප්‍රධාන චිත්‍රපට වූයේ, ධීවරයෝ, අදට වැඩිය හෙට හොඳයි සහ චන්ඩියායි.

1969දී විජය කුමාරතුංග, හන්තානෙ කථාවේ ප්‍රධාන නළුවා ලෙස තරුවක් බවට පත්විය. ඊ ලඟ දශකය තුල , ෆොන්සේකා ලඟට ඉතාමත් ජනප්‍රිය නළුවා වූයේ ඔහුයි. බොලිවුඩ් වානිජ චිත්‍රපටවල ආභාශය ලද චිත්‍රපට වලට අමතරව, බඹරු ඇවිත්, එයා දැන් ලොකු ලමයෙක් හා ගඟ අද්දර වැනි කලාත්මක චිත්‍රපට වලද ඔහු රඟපෑවේය। 1989දී ඔහුගේ හදිස්සි මරණය හේතුවෙන් ප්‍රසිද්ධ සිනමාව කෙරෙහි විශාල බලපෑමක් ඇතිවිය.


සම්මාන ලාභී නළු නිළියන්

  • ජෝ අබේවික්‍රම
  • ගාමිණී ෆොන්සේකා
  • මාලිනී ෆොන්සේකා
  • රුක්මණි දේවි
  • අයිරාංගනී සේරසිංහ
  • ඩී.ආර්. නානායක්කාර
  • විජය කුමාරණතුංග
  • අනෝජා වීරසිංහ
  • හෙන්රි ජයසේන
  • නීටා ප්‍රනාන්දු
  • වසන්ති චතුරානි
  • ස්වර්ණා මල්ලවආරච්චි
  • දෙනවක හාමිනේ
  • රවින්ද්‍ර රන්දෙනිය
  • සනත් ගුනතිලක
  • ධම්ම ජාගොඩ
  • ශ්‍රියානි අමරසේන
  • ශ්‍රියන්ත මෙන්ඩිස්
  • කමල් අද්දර ආරච්චි
  • ජැක්සන් ඇන්තනි
  • සරලා කාරියවසම්
  • සෞම්ය්‍ය ලියනගේ
  • කෞශල්‍ය ප්‍රනාන්දු
  • මහේන්ද්‍ර පෙරේරා

ගණිකා වත

උපුටනය http://www.sl-santabanta.com

ලෝකයේ පැරණිම වෘත්තිය ගණිකා වෘත්තිය බව අසත්‍යයක් නො‍‍වේ. මෙතෙක් පැවති හැම ශිෂ්ටාචාරයකින්ම ගණිකා වෘත්තිය බැහැර නොවිණි. අතීත ග්‍රීක හා භාරතීය ශිෂ්ටාචාරයන්හි ගණිකා වෘත්තියට හිමි වී පැවතුණේ විශිෂ්ට ස්ථානයකි. ශ්‍රී ලංකාවෙහි ශිෂ්ටාචාරය‍ට පදනම වැටුණේ පුරාණ භාරතීය ශිෂ්ටාචාරයෙනි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට බුදුදහම පැමිණීමත් සමඟම භාරතීය මෞර්ය ශිෂ්ටාචාර‍යෙහි බොහෝ අංගද මෙරට පැමිණි අයුරු වංශකථා හෙළි කරයි. එහෙත් මෞර්ය පාලනය තුළ භාරතයෙහි පැවති ගණිකා දෙපාර්ත‍මේන්තුව වැන්නක් මෙරට රාජ්‍ය පාලනයට එක් වූ බවට සාධක නැත.

ගණිකාවකගේ හැසිරීම් රටාව කෙබදු වියයුතුද යනු වාත්ස්‍යායන තම කාමසූත්‍රය නැමැති ග්‍රන්ථයෙහි හයවන අධිකරණයෙහි ඇතුළත් වන පරිච්ජේද හය මඟින් පහදා දෙයි. ඔහු පවසන අන්දමට ගණිකාවගේ අනුරතිය මෙන්ම දිවි පැවැත්මද රඳා පවත්නේ ඇය කරා පුරැෂයන්ගේ පැමිණීම ඇති කල්හි පමණි. ඒ සඳහා ගණිකාව අනුගමනය කළ යුතු උපාය මාර්ගද පහදන ඔහු ගණිකාවගේ ප්‍රේමය කෘතිම වුවත් එය ස්වාභාවික ප්‍රේමයක් සේ පැවැත්වියයුතු බවද අවධාරණය කරයි. ඒ වනාහී ධන ලාභය පිණිස අවශ්‍යම වෙයි. එහෙත් මෙහිදී ගණිකාව තම ව්‍යාපාරය ධනය පිළිබඳ අපේක්ෂාව මතම සිදු වන්නක් බව හැඟවීම පිණිස නිර්ලෝභීභාවයක් ප්‍රදර්ශනය කළ යුතුය. ධනය සූරාගතයුත්තේ උපාය මාර්ගයෙනි.

ගණිකාව වෙළඳ භාණ්ඩයකි.

වාත්ස්‍යායනගේ ප්‍රකාශය අනුව ගණිකාව හුදෙක් වෙළඳ භාණ්ඩයක් හා සමානය. වෙළඳ භාණ්ඩයකට ඉල්ලුමක් ඇත්තේ එය ප්‍රදර්ශනය කරන විලාසය අනුවයි. එනිසා ගණිකාව ශෘංගාරවත් වේශාරෝපණයක් සහිතව මහමඟ යන හැම දෙනාටම පෙනෙන සේ සිටින්නීය. එහෙත් සපුරා පෙනෙන අයුරින් නම් නොවේ.
ගණිකා වෘත්තියද වෙළඳ ව්‍යාපාරයක් වන හෙයින් ගනුදෙනු කරුවන් ගෙන්නාගැනීම සඳහා ඇය උපක්‍රමශීලීව කටයුතු කළ යුතුය. එහිදී තැරැව්කාරයන් සමඟ මෙන්ම, ඇය වෙත පැමිණෙන්නවුන් වළක්වන්නවුන් සමඟද මිත්‍ර වීම අවශ්‍ය වෙයි. ඒ අතර වෙනත් ගණිකාවන් කරා යන්නවුන් තමන් කරා පමුණුවා ගැනීමටද වග බලාගැනීමද අවශ්‍ය වෙයි. මේ සඳහා කටයුතු කිරීමෙහිදී තමන්ට සිදු විය හැකි අනර්ථයන් ගැනද අවබෝධයෙන් සිටිය යුතුය.





මේ කාරියෙහිදී ඇය විසින් මිතුරුදම් පැවැත්වියයුතු පුද්ගලයන් රැසක් ගැනද වාත්ස්‍යායන සඳහන් කරයි. ඔවුන් අතර ආරක්ෂක පුරුෂයන්, වෙදුන්, නීතිවේදීන්, දෛවඥයන්, ශූරයන්, විද්වතුන්, කලාකරුවන්, සහායකයන්, විදුෂකයන්, මායාකාරයන්, සුවඳ බඩු වෙළෙන්දන්, බේබද්දන්, රජකයන්, කරණවෑමියන් මෙන්ම හිඟන්නෝද වෙති. ඔවුන් සමඟ ඇති කරගන්නා මිත්‍රත්වය නිසා තමන්ට අවශ්‍ය විවිධ කටයුතු ඔවුන් ලවා කරවාගත හැකිය.
හුදෙක් ධනය ලබාගැනීම සඳහා ඇසුරු කළයුතු පුද්ගලයන් පමණක් නොව ගණිකාව තම ප්‍රීතිය හා කීර්තිය වර්ධනය කර ගැනීමට ඇසුරු කළයුතු වෙනත් පුද්ගලයන් රැසක් ගැනද වාත්ස්‍යායන සඳහන් කරයි. ඔවුන් අතුරෙන් ධනය ලබාගැනීම පිණිස කිසිවකුට යටත් නොවන්නන්, යෞවනයෙහි පසුවන්නන්, නිළධාරීන්, පරපුරින් ධනයට හිමිකම් කියන්නන්, අධික ආදායම් ඇත්තවුන්, තමන් සෞභාග්‍යයෙන් යුතුය යන හැඟීම ඇත්තවුන්, ප්‍රසිද්ධිය පතන පණ්ඩිතයන්, පොහොසත් පවුලක එකම පුත්‍රයා වන්නන්, වීරයන් මෙන්ම වෙදුන්ද ඇසුරු කළයුතුය.
ප්‍රීතිය හා කීර්තිය පිණිස ගුණවතුන්, වංශවතුන්, උගතුන්, දාර්ශනිකයන්, කවීන්, ශිල්පීන්, ප්‍රබන්ධ කථිකයන්, කථිකයන්, බුහුටි වූවන්, ශ්‍රේෂ්ඨ පුරුෂයන් ඇසුරු කරන්නන්, නින්දාට පත් නොවූවන් ඇසුරු කළයුතුය. එහෙත් මෙවැනි පුද්ගලයන් ගණිකාවන්ට වසඟ නොවන පිරිසක් නොවන බව ද වාත්ස්‍යායන සඳහන් කරයි.

ජාතකකථා රැසක දක්නට ලැබෙයි. තක්කාරිය ජාතකයෙහි සඳහන් වන ගණිකාව මසුරන් දහසක් රැගෙන තමන් වෙත නිතර පැමිණෙන සිටුපුත්‍රයකු නග්න කරවා පිටත් කිරීමට තරම් සහැසි වෙයි. එයින් පැහැදිලි වන්නේ ඒ සිටුපුත්‍රයා නිතර තමන් වෙත පැමිණියත් ඔහු පිළිබඳව සැබෑ ඇල්මක් නොපැවති බවයි.
වාත්ස්‍යායන පවසන පරිදි ගණිකාව ඇය බලා කියා ගන්නා මවට යටත්ව පැවැතිය යුතුය. මෙහි “මව” යන්නෙන් අදහස් කරන්නේ පෙර ගණිකාවක ලෙස විසූ තමාගේම මව හෝ ගණිකාවක ලෙස ජීවත් වූ වෙනත් ස්ත්‍රියකි. මේ කියන මව ක්‍රෑර ස්වභාවයක් ඇති ලෝභී තැනැත්තියක වියයුතුය. ඇයට ගණිකාව වෙනත් තැනැත්තකු සමඟ එක්ව සිටින විට ඔහු කෙරෙන් බලහත්කාරයෙන් කැඳවාගෙන අවුත් ඔහුට වඩා ධනවත් පුද්ගලයකු වෙත පැමිණිවිය හැකි විය. එබදු අවස්ථාවක කලින් එක්ව සිටි පුරුෂයාට ඒ සිද්ධිය පිළිබඳව තම අරුචිය, දුක, ලැජ්ජාව හා භය හඟවන්න‍ට ගණිකාවට හැකි වියයුතුය. එසේම මවගේ කීමකට අකැමත්ත නොදැක්වීමද වියයුත්තකි.
ගණිකාව හිසරුදාවකින් හෝ බඩේ රුදාවකින් හෝ පෙළෙන්නේ නම් ඒ බව තමා බලාපොරොත්තුව ආ පුරුෂයාට පැවැසියයුත්තේ එක් වරක් පමණි. එහෙත් තමා වෙත පැමිණි තැනැත්තකු සමඟ එක්වීමට නොකැමති නම් ඒ බව ඔහුට කෙළින්ම ප්‍රකාශ නොකොට තමාට රෝගයක් ඇතැයි කියා ඔහු රැවටීම සිදුකළ යුතුය. තමා පිළිගන්නා පුරුෂයාට සේවිකාවක ලවා මල් බුලත් ආදියෙන්ද සංග්‍රහ කළ යුතුය.
ඉහත සඳහන් කරන ලද තක්කාරිය ජාතකයෙහි සඳහන් වන අන්දමට නම් ගණිකාව තමා වෙතට පැමිණෙන පුරුෂයා දෙන දහසින් පන්සියයක් තමාට තබාගෙන ඉතිරි පන්සියයෙන් ඔහුට අවශ්‍ය බත්, බුලත්, සුවඳ විලවුන්, ඇදුම් සැපයියයුතු විය. එසේම පුරුෂයා තමා ඇඳගෙන ආ ඇදුම් වෙනුවට ගණිකාව දෙන ඇඳුම් ඇඳියයුතු විය.
ගණිකාව තමා වෙත පැමිණි පුරුෂයාගේ අභිප්‍රායට අනුකූලව කටයුතු කළ යුතු බවද වාත්ස්‍යායන පෙන්වා දෙයි. තමා හා එක්වූ පුරුෂයාගේ වෛරකාරයන්ට තමාද වෛර කරන බව, ඔහුට ප්‍රිය අය තමාද ප්‍රිය කරන බව, ඔහු යමකට රුචි කරයි නම් තමාද ඊට රුචි කරන බව, ඔහුගේ සතුටට සතුටු වන බව, ශෝකයට ශෝක වන බව හැඟවිය යුතුය. ඒ අතර ඔහුගේ අන්‍ය ප්‍රියාවන් ගැන දැනගන්නට කැමති බව හඟවා ඔවුන් ගැන පවසන විට කෝප වන ආකාරයක්ද දැක්වියයුතු වේ. එහිදී එය හැර ඔහු කියන හැම දෙයටම එකඟ බව දැක්වීමද අවශ්‍ය වේ.
මේ අයුරින් ගණිකාව විසින් අනුගමනය කළයුතු චාරිත්‍ර විධි මහත් රාශියක් ගැන වාත්ස්‍යායන සාකච්ඡා කරයි. එපමණක් නොව තමා සඳහන් නොකළ වෙනත් කරුණු තිබිය හැකි හෙයින් ඒවා පරිසරයෙන් හා පුද්ගල ස්වභාවයෙන් දතයුතු බවක්ද හේ සඳහන් කරයි. ඔහු තව දුරටත් පවසන පරිදි ගණිකාව තම හැසිරීම මඟින් පුරුෂයන් හා සියලු ධනය ඇදගන්නා කල්හිත් ඒ ගැන ඔවුන්ට නොවැටහෙයි. ඒ අනුව ගණිකාවන් සතු සිරිත්කුමක් අරමුණු කොටගෙන පවතීද යනු පැහැදිලිය.

අභිසරුවෝ හෙවත් අභිසාරිකාවෝ නම් පුරුෂයන් විසින් සඳහන් කරන ලද තැන්වලට ගොස් ඔවුන් හමුවන ගණිකාවෝය. පැරණි සිංහල ගී කාව්‍යයන්හීදීත්, සන්දේශ කාව්‍යයන්හීදීත් අපට අභිසරුවන් ගැන නොයෙක් විට අසන්නට ලැබේ.
අභිසරුවන් පුරුෂයන් සොයාගෙන ගියේ රාත්‍රී කාලයෙහිය. ඔවුන්ට රාත්‍රිය ගෙවී යෑම ඔවුන්ගේ අමනාපයට හේතු වන බව ද කිවීහු පවසති. එපමණක් නොවේ, රාත්‍රියෙහි තැන්තැන්වල ඇති ආලෝකයටද සුපුන් සඳ පහනටද ඔවුහු වෛර කරති. ඒ තමන් අනුන්ට පෙනෙතැයි යන බිය නිසා ඇතිවන්නකි. එයින් පැහැදිලි වන්නේ අභිසරුවන් තම වෘත්තිය අනුන්ට නොහැගෙන සේ රහසින් පවත්වාගෙන යෑමට රුචි කළ බවයි.
එහෙත් වාත්ස්‍යායන අභිසරුවන් ගැන පවසන කරුණු අනුව නම් ඔවුන් කවීන් පවසන තරම්

බියකින් තම වෘත්තිය පවත්වාගෙන ගිය බවක් නොපෙනේ. පුරුෂයන් අභිසරුවන්ගේ පැමිණීම අපේක්ෂා කොට ඇත්තේ නළුවන්, විකටයන්, හා යහළුවන්ද සමඟ අසුන් ගනිමිනි. එහිදී ගැයුම් වැයුම්වලද ඔවුන් නිරත වූ අතර අභිසරුවන් කැඳවාගන්නා ලද්දේ දුතියන් මඟිනි. නැතහොත් පුරුෂයෝම ගොස් ඔවුන් කැඳවාගෙන ආහ.
එසේ පැමිණි අභිසරුවන් යහළුවන් සමඟින් මිහිරි වදනින්, හරවත් වදනින් යුතුව පිළිගැනීමද සිදු විය. වැසි දිනවලදී අභිසරුවන්ගේ ඇදුම් පැළදුම් තෙමී තිබුණහොත් පුරුෂයන් විසින් ඒවා සැපයිය යුතු විය. එසේම නළලෙහි තබන ලද තිලක හා පත්‍රලේඛා(සුවඳ කුඩුවලින් කම්මුලෙහි කරනු ලබන සැරසිලි විශේෂයකි.) සේදී තිබේ නම් පුරුෂයන් ඒවා සැරසිය යුතු විය.

You might also like:

Friday, June 3, 2011

වීරයෙකු මිය ගොස් තිබේ. එයට ප‍්‍රතිචාර නොදක්වන්නෝ ගුණමකුවෝය

මිනිසුන් මිය යයි. ඔවුන් පිලිබඳ මතකය බොහෝ කාලයක් බොහෝ විට රැුඳෙන්නේ ඔවුන්ගේ නෑ හිත මිතුරන් අතර ය. සමහර විට ජීවත් වූ ආකාරය මත සමහරුන් පිලිබඳ මතකය නෑ හිත මිතුරු වපසරියෙන් එපිට ද ඉතිරි වෙයි. තවත් සමහර මිනිසුන් පිලිබඳ මතකය කාලාන්්තරයක් පවත්නා සමාජ මතකයක් වන්නේ ඔවුන් මිය යන ආකාරය මත ය. ඉතා සාමාන්‍ය ලෙස ජීවත් වූ මිනිසුන් යම් අවස්ථාවන් හි වීරයන් ලෙස මිය යයි. පසුගිය දා කටුනායක උද්ඝෝෂනයට එල්ල කල නොමිනිස් පොලිස් ප‍්‍රහාරයෙන් මිය ගිය රොශේන් චානක එවැන්නෙකි. ඔහු දැන් කටුනායක වෙලඳ කලාපයෙන් ඔබ්බට ද වීරයෙකි.

කළ නොහැකි කිසිවක් නැතැ යි සිතා සිටි ආණ්ඩුවක් කටුනායක වැඩකරන ජනතාවගේ අභිමානය ඉදිරියේ සිය පලමු පරාජය ලැබී ය. පාර්ලිමේන්තුව තුල ඉතා පහසුවෙන් සම්මත කර ගත හැකිව තිබූ වංචාකාරී විශ‍්‍රාම වැටුප් පනත් කෙටුම්පත හකුලා ගැනීමට ආණ්ඩුවට සිදු වන්නේ පාර්ලිමේන්තු ආසන වලට වඩා ජනතා බලවේග ශක්තිමත් බව දැකීමෙනි. ජනතාව පාලකයන් තෝරා පත්කරන්නේ ජනතා අවශ්‍යතා හා ප‍්‍රාර්ථනා ඉටු කර ගැනීමට ය. නමුත් එයට වෙනස්ව පාලකයන් ජනතා අයිතීන් බිඳ දමමින් විනාශකාරී ගමනක් අරඹන විට එයට රතු එලිය දැල් වීමට මැතිවරණ අවශ්‍ය ම නැත. මැතිවරණ වලට වඩා ජනඅරගල උසස් ය. එය පාලකයන්ට තමන් සතුව ඇත්තේ ජනතාවගේ බලය බව සිහි කරවයි. එසේම පාලකයන් සතුව ඇත්තේ තමන් විසින් යම් කාලයකට බාර දෙන ලද තමන් සතු බලය බව එය ජනතාවට ද සිහි කරවයි. එය දේශපාලනයේ විශිෂ්ඨ නිමේෂයකි. රොශේන් චානක වෙලඳ කලාපයෙන් ඔබ්බට ද වීරයෙකු වන්නේ ඔහු එම දුලබ විශිෂ්ඨ දේශපාලන නිමේෂය නිර්මාණය කිරීමට දායක වීම සඳහා සිය ජීවිතය පරිත්‍යාග කර ඇති නිසා ය.

මීට හරියටම අවුරුද්දකට පෙර 2010 ජූනි මාසයේ දවසක ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩි‍්‍රයා ප‍්‍රදේශයේ සයිබර් අවන්හලක සිටි ආණ්ඩු විරෝධී බ්ලොග් කරුවෙක් ඊජිප්තු ආරක්ෂක අංශ විසින් ඝාතනය කරනු ලැබී ය. ඔහු ගේ නම ‘කාලිද් සයීඞ්’ ය. එයට එරෙහිව ‘අපි හැමෝම කාලිද් සයිඞ්ලා’ යනුවෙන් ෆේස් බුක් පිටුවක් ඇරඹුනේ ඊජිප්තු පාලකයන් ගේ ජනතා විරෝධී ක‍්‍රියාකාරකම් වලට එරෙහිව ය. එයට අති විශාල ප‍්‍රතිචාරයක් සයිබර් අවකාශය තුල හිමි විය. 2011 ජනවාරි 25 වන දා ඇරඹෙන ඊජිප්තු ජන නැගිටීමට පැමිණෙන ජනයාට ඇරයුම් කරන ප‍්‍රධානතම බලවේගයක් වන්නේ ‘අපි හැමෝම කාලිද් සයීඞ්ලා’ ෆේස් බුක් පිටුවයි. ‘කාලිද් සයිඞ්’ වෙනුවෙන් ඔහුගේ ඡුායාරූප ද රැුගත් ජනතාව ඊජිප්තු අරගලය පුරාම දක්නට ලැබිණ. ‘කාලිද් සයිඞ්’ ගේ මරණයට වග කිව යුතු ආණ්ඩුවට අවසානයේ ජනතා බලය හමුවේ ගෙදර යාමට සිදු විය. එදා සයීඞ් ඝාතනය කරන ඊජිප්තු ආරක්ෂක අංශ වලට වෙනස්ව අරගලය අතර තුර ඊජිප්තු හමුදාව ජනතාවගේ පැත්ත ගත්තේ ය.

අද ලංකාව තුල සිය අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ කරන ජනතාව නැගී සිටින විට ඔවුන්ට එරෙහිව සිය තුවක්කු පත්තු කරන පොලීසියේ හෝ හමුදාවේ සෙබලූන්ට නන්දා මාලිනී ගේ ගීතයක් සිහිපත් කර දිය යුතු ව ඇත. සීතල කාමර වල සිට අණ දෙන උන් සහ ජනතාවගේ ධනයෙන් පිස්සු කෙලින උන්ගේ දරුවන් සිටින පන්තියත් තමන් ඇත්තටම ජීවත්වන සමාජ පන්තියත් ගැන පොලීසියේ හා හමුදාවේ සෙබලූන් අණ පිලිපැදීමට පෙර මඳකට හෝ සිතීමට එය උදව් කරනු ඇත.
වෙඩි උණ්ඩය වැය කොට නුඹ
රැුක ගත යුතු ජන පිරිසය
යුක්තිය උදෙසා මොර දෙන
ජනයා නසතොත් වියරුව
වැනසෙන්නේ නුඹ ද අයත්
පන්තිය බව සිතට ගන්න

අපි හැමෝම රොශේන් චානකලා ලෙස ලංකාවේ වැඩ කරන ජනයා සිතන දවස වැඩි ඈතක නැත. දැන් රොශේන්ගේ මරණයේ සංවේගය අයිතිවන්නේ ඔහුගේ නෑ හිත මිතුරන්ට පමණක් නොවේ. එනිසා මේ සෙනසුරාදා ඔහු අවසන් ගමන් යා යුත්තේ සමස්ත ලාංකීය වැඩකරන ජනතාවගේ සංවේග මැද ඔවුන්ගේ කරපිටිනි. වැඩ කරන ජනයා නියෝජනය කරන දේශපාලන බලවේග එයට මූලිකත්වය ගත යුතුව ඇත. රොශේන් මිය ගොස් ඇත්තේ ජනතා විරෝධී ආණ්ඩුවක් පුපුරුවා හැරිය හැකි දුර්ලබ දේශපාලන නිමේෂයක් ද නිර්මාණය කිරීමෙන් අනතුරුව ය. 2011 යනු ජනතාවගේ බලය ඉතිහාසයේ වේදිකාව මත ජයකෙහෙලි නංවන වසරක් බව ද අමතක නොකල යුතුව ඇත

උපුටා ගැන්ම -ලංකා ඊ නිවුස්


Wednesday, June 1, 2011

සහභාගීත්ව සංවර්ධනය


හැදින්වීම

දිළිඳුකම පිටුදැකීම සඳහා සංවර්ධන ආකෘතිය තුළ පැවති දුර්වලතා අවම කර ගැනීෙම් අරමුණ සහිත ජනතා සහභාගිත්වය සහ පුරෝගාමිත්වය සහිත වැඩ සටහන් ක්‍රියාත්මන කිරීම සඳහා 1970 දශකයෙන් පසු ආරම්භ වූ විකල්ප සංවර්ධන ප්‍රවේශය සහභාගිත්ව සංවර්ධනය ‍වේ.මෙම සංවර්ධන ප්‍රවේශය නූතන සංවර්ධන වැඩසටහන්වල ප්‍රධාන දර්ශනය බවට පත්ව තිබේ.සාම්ප්‍රදායික සංවර්ධන ක්‍රමෝපායන් මඟින් ප්‍රජා සංවර්ධනය සඳහා වූ සේවය අවම වීම හේතුවෙන් දිළිඳුකම පිටු දැකීම සඳහා ප්‍රමුඛ සංවර්ධන ප්‍රවේශයක් ලෙස සහභාගිත්ව සංවර්ධනය සංවර්ධනය වෙමින් පවතින රටවල භාවිතා වේ.

දිළිඳුකම යනු කුමක් ද?

සහභාගිත්ව සංවර්ධන ප්‍ර‍‍‍වේශයේ පසුබිම

දශක ගණනාවක් තුළ තුන්වන ලොව රටවල ක්‍රියාත්මක වූ සාම්ප්‍රදායික සංවර්ධන උපාය මාර්ග මඟින් ඇති වූ ග්‍රාමීය සංවර්ධනය බලාපොරොත්තු වූ ඉලක්ක සපුරා ගෙන නොමැත.සාම්ප්‍රදායික සංවර්ධන ක්‍රමවේදයේ දී රජය විසින් සැලසුම් සකස් කිරීම‍‍, ක්‍රියාත්මක කිරීම සහ ඇගයීම් සිදු කළ අතර ඉලක්ක ජනතාව සහභාගි වූයේ ප්‍රතිලාභීන් ලෙස පමණි.මෙම සංවර්ධන ක්‍රමවේදය ඌණ සංවර්ධිත රටවල දිළිඳුකම අවම කර ගැනීම සඳහා දායක නොවී ය.

මේ අතරතුර 1970 දශකයේ දී ලෝක ආර්ථිකය විශ්වකරණය (Globalization) වීමේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ රටවල් එම ආර්ථික ක්‍රියාවලියට ගැළපෙන පරිදි තම රටවල රාජ්‍ය තන්ත්‍රයේ ව්‍යූහගත වෙනස්කම් (Structural Adjustments) සිදු කරන ලදි.මෙම ව්‍යූහගත වෙනස්කම්වල ප්‍රතිඵල වූයේ රජයේ සුබසාධන වියදම් කපා හැරීම, පෞද්ගලිකරණය යනාදී ක්‍රියාවලීන් ය. සුබසාධන වියදම් කපා හැරීම තුළින් දිළිඳුභාවය උග්‍ර විය.එබැවින් මෙම අභියෝගය ජය ගැනීම සඳහා දිළිඳු පිරිස උදෙසා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මතු විය. සීමිත සම්පත් වලින් වැඩි පිරිසකට ප්‍රතිලාභ සැලසීමට හැකිවන පරිදි විකල්ප සංවර්ධන ක්‍රමවේදයන් සොයා බැලීමට සංවර්ධනවේදීන් උත්සුක විය.මෙහි ප්‍රතිඵලයක්ලෙස 1970 දශකයේ සිට තුන්වන ලොව රටවල් සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදය අනුගමනය කිරීමට පෙළඹුණි.

සහභාගිත්ව සංවර්ධනය අර්ථ දැක්වීම

සහභාගිත්ව පර්යේෂකයින් විසින් සහභාගිත්ව සංවර්ධනය අර්ථ දක්වා ඇත්තේ පහත පරිදි ය.

පොන්න විග්නරාජා (Ponna Wignaraja):- "සංවර්ධන සැලසුම් සකස් කිරීමේ දී ප්‍රතිලාභීන්ගේ උපරිම සහභාගිත්වය සලසන්නා වූත් සංවර්ධන ක්‍රියාවලියේ දී කේන්ද්‍රස්ථානයක් ලෙස ගම සලකන්නා වූත් අරමුණු කණ්ඩායම්වල සවිබලකරණය හා ප්‍රාදේශිය මට්ටමේ සම්පත් හා තාක්ෂණය භාවිතය යන උපාය මාර්ගස මත පදනම් වූ සංවර්ධන ක්‍රියාවලිය සහභාගිත්ව සංවර්ධනය වේ".

බෙන්ජමින් ඩගොදින් (Benjemin Dagodin):- "කිසියම් ව්‍යාපෘතියක් සැලසුම් කිරීම, කළමනාකරණය කිරීම යන අවස්ථාවල දී වගකීම සහ කාර්යයන් අර්ථවත් පරිදි බෙදා ගැනීම සහභාගිත්ව සංවර්ධනය වේ".

විල්ෆ්‍රඩ් කරුණාරත්න (Wilfred Karunarathne):- "විවිධ බලවේගයන් විසින් කාලයක් තිස්සේ යටපත් කරනු ලැබ තිබූ බෙලහීන ජනතාවගේ සැඟවුණ නිර්මාණාත්මක කුසලතාවයන් සාමූහික ප්‍රයත්නයන් මඟින් ඉස්මතු කර ගනිමින් ඔවුන්ට වාසිදායක වන අයුරින් පවත්නා තත්වයේ වෙනසක් ඇති කරමින් ඔවුන්ගේ ම කතෘත්වයෙන් බිහි වන සංවර්ධන ක්‍රියාවලිය සහභාගිත්ව සංවර්ධනය වේ".

සංවර්ධන ක්‍රියාවලියේ දී සැලසුම් කිරීම පිළිබඳ ව තීරණ ගැනීමේ අවධියේ සිට ඇගයීමේ අවධිය දක්වා වූ සියලු ම කාර්යයන්ට සංවර්ධනයේ ප්‍රතිලාභීන්ගේ ක්‍රියාකාරී සහභාගිත්වය මෙන්ම සංවර්ධනයට දායක වන්නා වූ රජය, බාහිර ආයතන සහ ආධාරක ආයතන වැනි ආයතන වලින් සංවර්ධන ක්‍රියාවලියට අවශ්‍ය වු සහාය සැපයීම සහභාගිත්ව සංවර්ධනය ලෙස සරල ව හැඳින්විය හැකි ය.

Participatory- development.PNG

සහභාගිත්ව සංවර්ධනයේ මූලික ලක්ෂණ

සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදය සහ ධනේෂ්වර සංවර්ධන ක්‍රමවේදය අතර මූලික වෙනස්කම් කීපයකි.

1. සහභාගිත්ව සංවර්ධන ක්‍රියාවලියේ මූලික ඉලක්කය වන්නේ දිළිඳු ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරා ලීම යි.ඒ අනූව වැඩසටහන් හඳුනා ගැනීම,සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ ප්‍රතිලාභ භුක්ති විදීමත් ඇගයීමත් මෙම ජන කොටස් විසින් සිදු කෙරේ.ධනේෂ්වර සංවර්ධන ආදර්ශයේ කේන්ද්‍රීය අවශ්‍යතාවය වන්නේ ලාභය යි. ඒ සඳහා ආර්ථිකය මෙහෙය වනු ලබන අතර මිනිස් ශ්‍රමය වෙනුවට ලාභදායී තාක්ෂණික ක්‍රම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරයි.

2. පහළ සිට ඉහළට විහිද යන සන්නිවේදන රටාවකට සහ නියෝග මාලාවක් අනූව වැඩසටහන් ක්‍රියාවට නඟනු ලබයි. (Up-Bottom planning)‍මෙහි දී අඩු ආදායම්ලාභී ජන කොටස්වල සක්‍රීය සහභාගිත්වය මූලික ක්‍රියාමාර්ගයක් ලෙස සලකයි.ඒ අනූව අදාළ වැඩසටහන් ආරම්භයේ සි‍ට අවසානය දක්වා වූ සෑම අදියරකදී ම මෙම සහභාගිත්වය අපේක්ෂා කරයි.

3. සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදය තුළ ප්‍රතිලාභීන්ගේ නිර්මාණාත්මක හැකියාවන්, ප්‍රජාතාන්ත්‍රීය ක්‍රියාවලීන්,දේශීය සම්පත් සහ තාක්ෂණය උප‍යෝගී කර ගනී. මෙහි දී අපේක්ෂා කරනුයේ දිළිඳු ජනතාව සවිබල ගැන්වීම යි. ධනේෂ්වර සංවර්ධන ආදර්ශය අනූව ප්‍රතිලාභීන් සහ ප්‍රතිලාභය අතර මානුෂික බැඳීමක් දක්නට නැත. ප්‍රතිලාභීන් ප්‍රතිලාභ ලබන්නන් පමණක් බවට පත් වේ.

සහභාගිත්ව සංවර්ධනයේ අරමුණු

දිළිඳු ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා වූ විකල්ප සංවර්ධන ප්‍රවේශය සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදය වේ.මෙම ක්‍රමවේදය තුළින් බලාපොරොත්තු වන අරමුණු පහත පරිදි දක්විය හැකිය.

Participatory development 2.JPG

සහභාගිත්ව සංවර්ධනය සඳහා පදනම් මූලධර්ම

ජනතා මූලික භාවය

People's participation 2.jpg

සහභාගිත්ව සංවර්ධන ක්‍රියාවලිය තුළ දී ග්‍රාමීය ජනතාව ඉලක්ක නොව සංවර්ධනයේ විෂය ක්ෂේත්‍රය වේ.මෙහි මුල් අදියර වන්නේ දිළිඳු ජනතාව විසින් ඔවුන් වටා ඇති සමාජ යථාර්ථය තේරුම් ගැනීම පිණිස කරනු ලබන විමර්ශනය යි. දිළිඳුකම ඇති වීමට හේතු,ඔවුන් දිළිඳුකමේ ම රඳවා තැබීමට හේතු වන කරුණු සහ ඒ සඳහා තුඩු දුන් සමස්ත ක්‍රියාවලිය තේරුම් ගැනීමත් ඔවුන්ට වාසි දායක වන අයුරින් වෙනස් කිරීම‍ට හේතු වන ආකාරයේ සංවර්ධන වැඩසටහන් ආරම්භ කළ යුතු වේ.




විමද්‍යගතකරණය

සංවර්ධන වැඩසටහන් සැලසුම් කරණයේ සිට අවසන් කිරීම දක්වා ක්‍රියාවලිය තුළ සිදුවන සහභාගිත්වය ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව වැඩි දියුණු කිරීමට විමද්‍යගතකරණ ආයතන ඍජු ව සම්බන්ධ වේ.සහභාගිත්ව සංවර්ධනය ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාවලියකි.ඒ අනූව සංවර්ධනයේ සෑම අදියරකදීම මෙම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ක්‍රියාත්මක කළ හැකි අතර විමද්‍යගත කරණය වැනි උපාංග ඒ සඳහා ප්‍රබල ශක්තියක් සපය යි.

Power sharing 2.PNG

බාහිර සභිකයන්ගේ කාර්ය

Group argent.jpg

කිසියම් ප්‍රජාවක් තුළ සමාජ සජීවිකරණ ක්‍රියාවලියක් ඇරඹීමට ඒ සඳහා විශේෂිත පුහුණුවක් ලත් ක්ෂේත්‍ර ක්‍රියාකාරකයින්ගේ මැදිහත්වීමක් අවශ්‍ය වේ.සහාය අවශ්‍ය කරනු ලබන ජනතාවට තම සංවර්ධනය සැලසුම් කිරීමට උපකාරී වීම සහ බාහිර වශයෙන් සපයා ගත යුතු වන මූල්‍යමය,ද්‍රව්‍යමය සපයා ගැනීමට සහාය වීම බාහිර සභිකයින්ගේ කාර්ය වේ.මෙබඳු සහායකයින් විපර්යකාරකයින් ලෙස හැදින්වේ. මෙම නියෝජිතයන් මඟින් ඉටු වන කාර්ය පහත දැක්වේ.

  • සංවර්ධන විඥානය ගොඩ නැඟීම
  • කණ්ඩායම් සංවිධානය සහ ආයතන ලගාඩ නැඟීම
  • බාහිර සම්පත් ග්‍රහණය
  • කුඩා ව්‍යාපාර සංවර්ධනය


කුඩා කණ්ඩායම් ප්‍රවේශය

Working group2.jpg

ග්‍රාමීය සංවර්ධන ව්‍යායාමය සාර්ථක කර ගැනීම සඳහා අනුගමනය කරන ක්‍රමවේදයක් ලෙස කුඩා කණ්ඩායම් ක්‍රමය දැක්විය හැකිය.මෙම කණ්ඩායමක සාමාජිකයන් සාමාන්‍යයෙන් 5-15 ත් අතර ප්‍රමාණයකින් සැදුම්ලත් වේ.ස්වයං සංවර්ධනාත්මක ක්‍රියාවන් ශක්තිමත් කරලීමට අවශ්‍ය සම්පත් පදනමක් ලොඩ නැගීමේ ක්‍රියාවලියේ මූලික පියවර වන්නේ සංවිධානය වූ කණ්ඩායම් ඔවුන්ගේ ම සම්පත් එක්රැස් කොට යෙදවීමට උත්සහ දැරීම යි. මෙම කණ්ඩායම් තුළ ගොඩ නැගෙන අරමුදල ජනතා ජීවිත උසස් කිරීමේ ක්‍රියාවලියේ ආරම්භක පියවර වේ.එය මූල්‍ය කළමනාකරණය, මූල්‍ය භාවිතය හා ඉතුරුම් සංස්කෘතියක් ගොඩ නැගීමට ලබා දෙන පුහුණුවකි.

දිළිඳුකම පිටුදැකීම සඳහා ශ්‍රී ලංකාවේ සහභාගිත්ව සංවර්ධන ප්‍රයත්නයන්

ජාතික වැඩසටහන්

  • ජනසවිය වැඩසටහන
  • සමෘද්ධි ව්‍යාපාරය


සුළු පරිමාණ වැඩසටහන්

  • විපර්යකාරක වැඩසටහන
  • සහභාගිත්ව ග්‍රාමීය සංවර්ධන වැඩසටහන
  • නිවාස දශ ලක්ෂයේ වැඩසටහන
  • හම්බන්තොට ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන

කරුණාරත්න,විල්ෆ්‍රඩ්. (1998).(සංස්)ප්‍රජාතනත්‍රවාදය සහ සහභාගිත්ව සංවර්ධනය. පීඩා ආයතනය.

ගැමි නායකත්වය සහ බල සබඳතා ගොඩ නැඟීම කෙරෙහි විපර්යකාරක වැඩසටහනේ බලපෑම. (1998). ග්‍රාම සංවර්ධන අභ්‍යාස සහ පර්යේෂණ පුහුණු ආයතනය.

දිසානායක,ප්‍රේමරත්න. (1999). ශ්‍රී ලංකාවේ ග්‍රාමීය අංශයේ ගෙවතු සංවර්ධනය පිළිබඳ සමාජ විද්‍යාත්මක අධ්‍යනයක්. පශ්චාත් උපාධි නිබන්ධනය: කොළඹ විශ්ව විද්යානලය.

විජේරාම, ලයනල්. (සංස්.) (1998). ග්‍රාම සංවර්ධනය සහ සංවර්ධනය. ග්‍රාම සංවර්ධන අභ්‍යාස සහ පර්යේෂණ පුහුණු ආයතනය: කොළඹ.