Friday, June 3, 2011

වීරයෙකු මිය ගොස් තිබේ. එයට ප‍්‍රතිචාර නොදක්වන්නෝ ගුණමකුවෝය

මිනිසුන් මිය යයි. ඔවුන් පිලිබඳ මතකය බොහෝ කාලයක් බොහෝ විට රැුඳෙන්නේ ඔවුන්ගේ නෑ හිත මිතුරන් අතර ය. සමහර විට ජීවත් වූ ආකාරය මත සමහරුන් පිලිබඳ මතකය නෑ හිත මිතුරු වපසරියෙන් එපිට ද ඉතිරි වෙයි. තවත් සමහර මිනිසුන් පිලිබඳ මතකය කාලාන්්තරයක් පවත්නා සමාජ මතකයක් වන්නේ ඔවුන් මිය යන ආකාරය මත ය. ඉතා සාමාන්‍ය ලෙස ජීවත් වූ මිනිසුන් යම් අවස්ථාවන් හි වීරයන් ලෙස මිය යයි. පසුගිය දා කටුනායක උද්ඝෝෂනයට එල්ල කල නොමිනිස් පොලිස් ප‍්‍රහාරයෙන් මිය ගිය රොශේන් චානක එවැන්නෙකි. ඔහු දැන් කටුනායක වෙලඳ කලාපයෙන් ඔබ්බට ද වීරයෙකි.

කළ නොහැකි කිසිවක් නැතැ යි සිතා සිටි ආණ්ඩුවක් කටුනායක වැඩකරන ජනතාවගේ අභිමානය ඉදිරියේ සිය පලමු පරාජය ලැබී ය. පාර්ලිමේන්තුව තුල ඉතා පහසුවෙන් සම්මත කර ගත හැකිව තිබූ වංචාකාරී විශ‍්‍රාම වැටුප් පනත් කෙටුම්පත හකුලා ගැනීමට ආණ්ඩුවට සිදු වන්නේ පාර්ලිමේන්තු ආසන වලට වඩා ජනතා බලවේග ශක්තිමත් බව දැකීමෙනි. ජනතාව පාලකයන් තෝරා පත්කරන්නේ ජනතා අවශ්‍යතා හා ප‍්‍රාර්ථනා ඉටු කර ගැනීමට ය. නමුත් එයට වෙනස්ව පාලකයන් ජනතා අයිතීන් බිඳ දමමින් විනාශකාරී ගමනක් අරඹන විට එයට රතු එලිය දැල් වීමට මැතිවරණ අවශ්‍ය ම නැත. මැතිවරණ වලට වඩා ජනඅරගල උසස් ය. එය පාලකයන්ට තමන් සතුව ඇත්තේ ජනතාවගේ බලය බව සිහි කරවයි. එසේම පාලකයන් සතුව ඇත්තේ තමන් විසින් යම් කාලයකට බාර දෙන ලද තමන් සතු බලය බව එය ජනතාවට ද සිහි කරවයි. එය දේශපාලනයේ විශිෂ්ඨ නිමේෂයකි. රොශේන් චානක වෙලඳ කලාපයෙන් ඔබ්බට ද වීරයෙකු වන්නේ ඔහු එම දුලබ විශිෂ්ඨ දේශපාලන නිමේෂය නිර්මාණය කිරීමට දායක වීම සඳහා සිය ජීවිතය පරිත්‍යාග කර ඇති නිසා ය.

මීට හරියටම අවුරුද්දකට පෙර 2010 ජූනි මාසයේ දවසක ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩි‍්‍රයා ප‍්‍රදේශයේ සයිබර් අවන්හලක සිටි ආණ්ඩු විරෝධී බ්ලොග් කරුවෙක් ඊජිප්තු ආරක්ෂක අංශ විසින් ඝාතනය කරනු ලැබී ය. ඔහු ගේ නම ‘කාලිද් සයීඞ්’ ය. එයට එරෙහිව ‘අපි හැමෝම කාලිද් සයිඞ්ලා’ යනුවෙන් ෆේස් බුක් පිටුවක් ඇරඹුනේ ඊජිප්තු පාලකයන් ගේ ජනතා විරෝධී ක‍්‍රියාකාරකම් වලට එරෙහිව ය. එයට අති විශාල ප‍්‍රතිචාරයක් සයිබර් අවකාශය තුල හිමි විය. 2011 ජනවාරි 25 වන දා ඇරඹෙන ඊජිප්තු ජන නැගිටීමට පැමිණෙන ජනයාට ඇරයුම් කරන ප‍්‍රධානතම බලවේගයක් වන්නේ ‘අපි හැමෝම කාලිද් සයීඞ්ලා’ ෆේස් බුක් පිටුවයි. ‘කාලිද් සයිඞ්’ වෙනුවෙන් ඔහුගේ ඡුායාරූප ද රැුගත් ජනතාව ඊජිප්තු අරගලය පුරාම දක්නට ලැබිණ. ‘කාලිද් සයිඞ්’ ගේ මරණයට වග කිව යුතු ආණ්ඩුවට අවසානයේ ජනතා බලය හමුවේ ගෙදර යාමට සිදු විය. එදා සයීඞ් ඝාතනය කරන ඊජිප්තු ආරක්ෂක අංශ වලට වෙනස්ව අරගලය අතර තුර ඊජිප්තු හමුදාව ජනතාවගේ පැත්ත ගත්තේ ය.

අද ලංකාව තුල සිය අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ කරන ජනතාව නැගී සිටින විට ඔවුන්ට එරෙහිව සිය තුවක්කු පත්තු කරන පොලීසියේ හෝ හමුදාවේ සෙබලූන්ට නන්දා මාලිනී ගේ ගීතයක් සිහිපත් කර දිය යුතු ව ඇත. සීතල කාමර වල සිට අණ දෙන උන් සහ ජනතාවගේ ධනයෙන් පිස්සු කෙලින උන්ගේ දරුවන් සිටින පන්තියත් තමන් ඇත්තටම ජීවත්වන සමාජ පන්තියත් ගැන පොලීසියේ හා හමුදාවේ සෙබලූන් අණ පිලිපැදීමට පෙර මඳකට හෝ සිතීමට එය උදව් කරනු ඇත.
වෙඩි උණ්ඩය වැය කොට නුඹ
රැුක ගත යුතු ජන පිරිසය
යුක්තිය උදෙසා මොර දෙන
ජනයා නසතොත් වියරුව
වැනසෙන්නේ නුඹ ද අයත්
පන්තිය බව සිතට ගන්න

අපි හැමෝම රොශේන් චානකලා ලෙස ලංකාවේ වැඩ කරන ජනයා සිතන දවස වැඩි ඈතක නැත. දැන් රොශේන්ගේ මරණයේ සංවේගය අයිතිවන්නේ ඔහුගේ නෑ හිත මිතුරන්ට පමණක් නොවේ. එනිසා මේ සෙනසුරාදා ඔහු අවසන් ගමන් යා යුත්තේ සමස්ත ලාංකීය වැඩකරන ජනතාවගේ සංවේග මැද ඔවුන්ගේ කරපිටිනි. වැඩ කරන ජනයා නියෝජනය කරන දේශපාලන බලවේග එයට මූලිකත්වය ගත යුතුව ඇත. රොශේන් මිය ගොස් ඇත්තේ ජනතා විරෝධී ආණ්ඩුවක් පුපුරුවා හැරිය හැකි දුර්ලබ දේශපාලන නිමේෂයක් ද නිර්මාණය කිරීමෙන් අනතුරුව ය. 2011 යනු ජනතාවගේ බලය ඉතිහාසයේ වේදිකාව මත ජයකෙහෙලි නංවන වසරක් බව ද අමතක නොකල යුතුව ඇත

උපුටා ගැන්ම -ලංකා ඊ නිවුස්


No comments: