Wednesday, October 8, 2008

සකස් කළ මස්වල පිළිකා අවදානම

සකස් කළ මස්වල පිළිකා අවදානම

පසුගිය විදුසර කළාපයේ එනම් 2008 සැප්තැම්බර් මස 17 වැනිදා කළාපයේ ඉතාම වැදගත් ලිපියක් පල වුනා. එය සැමගේ දැනගැනීම පිණිසත්, අවධානය පිණිසත් මෙසේ උපුටා කැටපත් පවුරෙහි පළ කරනු ලැ‍බේ.
සකස් කළ මස්වල පිළිකා අවදානම
“පෝෂණය හා පිළිකා පිළිබඳව මෙතෙක් කර ඇති පූළුල් ම සමාලෝචනය ඇමෙරිකානු පිළිකා පර්යේෂණ ආයතනය හා ලෝක පිළිකා පර්යේෂණ අරමූදල මඟින් 2007 වසරේ දී ප්‍රකාශයට පත් කර තිබේ. ලෝක පිළිකා පර්යේෂණ අරමුදලට අනුව බේකන් හා හොටිඩෝග්ස් වැනි සකස් කළ මස්වලින් පිළියෙල කළ ආහාර හා මහාන්ත්‍ර ගුද පිළිකා අතර දෑඩි සම්බන්ධතාවක් පවතී. සකස් කළ මස් ස්වල්ප ප්‍රමාණයක් වුව ද ආහාරයට ගැනීමට අහිතකර බැවින් ඒවා පරිභෝජනයෙන් සම්පුර්ණයෙන් වැළකී සිටිය යුතු ය යන මතය එමඟින් ඉදිරිපත් කරයි.
සකස් කළ මස් යනූවෙන් අදහස් කරන්නේ දුම් ගැස්සීමෙන්, ලුණු යෙදීමෙන් හෝ සංරකෂණ ද්‍රව්‍ය එක් කිරිමෙන් පිළියෙල කරන ලද මස් වර්ග ය. මේවාට නයිට්‍රයිට හෝ නයිට්‍රේට එකතු කළ සොසේජස්, හොටි ඩොග්ස්, හැම්, බේකන්, පැස්ට්‍රාමි, සලාමි හැම්බර්ග්ස් හා හීනියට කපා සකස් කළ මස් වර්ග අයත් වේ.
මෙම නිගමනයන්ට එළඹ ඇත්තේ පිළිකාවන් ගෙන් පෙළෙන හා නො පෙළෙන එහෙත් වෙනත් ආකාරයන් ගෙන් ඔවූන් හා සමාන පුද්ගලයින් ගත් ආහාර සසඳා බැලෙන අධ්‍යයනයන් 44ක් අනුසාරයෙන් හා පිළිකා හටගැනීමට ප්‍රථම අවධියේ පසු වු පුද්ගලයින් ගත් ආහාර හා ඔවූන් ගේ ආහාර රටාවන් කලක් තිස්සේ පසු විපරමට භාජනය කෙරුණු අධ්‍යයනයන් 14ක් අනුසාරයෙනි. දිනපතා ආහාරයට ගන්නා සකස් කළ මස් සෑම ග්‍රෑම් 50කින් ම මහාන්ත්‍ර ගුද පිළිකා වැළඳීමේ අවදානම සියයට 21කින් වැඩි කෙරේ. සකස් කළ මස් අනුභවය ගලනාළයේ, පෙනහළු, ආමාශ සහ පූරඃස්ථ ග්‍රන්ථි පිළිකාවන්ට සම්බන්ධ බව සමහර අධ්‍යයනන් ගෙන් හෙළි වී ඇති නමුත් මේවා වඩාත් ම බලපාන්නේ මහාන්ත්‍ර ගුද පිළිකා කෙරෙහි ය.
සකස් කළ මස් මඟින් පිළිකා හටගන්නේ කුමක් නිසා ද? විද්‍යාත්මකව සලකා බැලුව හොත් මෙය දුම්කොළ හා ළය පිළිකා අතර ඇති සම්බන්ධතාවට බෙහෙවින් සමාන ය. දුම්කොළ දුමෙහි රසායනිකයන් සිය ගණනක් ඇති නමූත්, පෙනහළු පිළිකා ඇති කරන්නේ කුමන රසායනය මඟින් දෑයි තව ම හරිහැටි හඳුනාගෙන නැත.
සකස් කළ මස්වල විශේෂයෙන් ම සංතෘප්ත මේදය සහ කොලෙස්ටරෝල් හා ලුණු බෙහෙවින් අඩංගු වේ. සංරකෂකයන්, වර්ණකයන් හෝ රසකාරකයන් ලෙස බොහෝ අවස්ථාවල යොදාගන්නා නයිට්‍රයිට මඟින් එන් නයිට්‍රරොසෝ සංයෝගයන් නිපදවිය හැකි අතර ඒවා පිළිකාකාරකයන් ලෙස සැක කෙරේ. මීට අමතරව අධික උෂ්ණත්වයේ පිසිනු ලබන මස්වල විෂමචක්‍රීය ඇමීන සහ බහුචක්‍රීය ඇරෝමැටික හයිඩ්‍රොකාබන ඇතුළු පිළිකාකාරකයන් අන්තර්ගත විය හැකි ය.
රතු සහ සකස් කළ මස්වල හීම් යකඩ ද බෙහෙවින් අඩංගු වේ. හීම් මඟින් පිළිකාකාරකයන් නිපදවීම වැඩි කරනවා පමණක් නො ව එහි අඩංගු යකඩ සංයුතීන් මුක්ත ඛණ්ඩකයන් නිපදවීමට ද මඟපාදයි.
සකස් කළ මස් කොහෙත් ම ආහාරයට නො ගත යූතු ය යන විද්‍යාත්මක මතය හමුවේ වූව ද ළමයි මෙන් ම වැඩිහිටියෝ ද බහුල වශයෙන් මේවා ආහාරයට ගනිති. ඇමෙරිකානුවෙක් දළ වශයෙන් වසරකට සකස් කළ ඌරුමස් නිෂ්පාදන රාත්තල් 32ක් පමණ ආහාරයට එක් කර ගනිති. ඇමෙරිකානුවන් හා බ්‍රිතාන්‍යයින් උදැසන ආහාරය සඳහා නිතිපතා බේකන් ගන්නවා පමණක් නො ව ඔවුන් අනූභව කරන පීසා වල සකස් කළ මස් ද අඩංගු වේ.
2008 වසරේ දී පුද්ගලයින් 108070කට මහාන්ත්‍ර පිළිකාත්, 40740කට ගුද පිළිකාත් වැළඳීමට ඉඩ ඇති බවත් 49960ක් පමණ මේ හේතුවෙන් මිය යා හැකි බවත් ඇමෙරිකානු ජාතික පිළිකා ආයතනය අනාවැකි පළ කරයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ වඩාත් සුලබ පිළිකා අතරින් සිව්වෙනි ස්ථානය ගුද පිළිකාවන්ට හිමි වේ.
සංවර්ධනය වෙමින් පවත්නා රටවල විකල්ප ශාක ආහාරයන් එමට තිබේ. ඇමෙරිකානු යෞවනයින් සියයට 16කට වැඩි සංඛ්‍යාවක් බරෙන් වැඩි අයයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ කාන්තාවන් තුන් දෙනකු ගෙන් එක් අයකු ද, පිරිමින් දෙදෙනකු ගෙන් එක් අයකු ද පිළිකාවන්ට ගොදුරු විය හැකි යැයි තක්සේරු කර තිබේ.
ජාතික පිළිකා ආයතනය මඟින් පළ කරන ජර්නලයේ 2008 අගෝස්තු කලාපයට අනූව දිනකට ගන්නා සකස් කළ මස් අවුන්සයකින් ආමාශ පිළිකා අවදානම සියයට 15 සිට 38 දක්වා වන ප්‍රමාණයකින් වැඩි වේ.
ජර්මන් චාන්සලර් බිස්මාක්ට අනුව නො සෑදිය යූතු හා සකස් නො කළ යූතු දේවල් දෙකක් වේ. ඒවා නම් සොසෙජස් හා ව්‍යවස්ථාවන් ය.
හෘද රෝග විශේෂඥ
වෛද්‍ය ඩී. පී. අතුකෝරල
පරිවර්තනය
කේ. එන්. ඕ. අමරදාස”

No comments: